“එන්නේ කොහි සිටද? යන්නේ කොතනට ද?”

දෙනෙත් විවර කර මන්දාලෝකය තුළින් ඉහළත් පහළත් බැලුවෙමි. මෙය සැබැවින්ම කෙළවරක් නොමැති සරළ රේඛීය පථයක් ඔස්සේ දිවෙන හෝ අක් මුල් යාවූ සුවිශල් වක්‍රාකාර පථයක් ඔස්සේ දිවෙන හෝ හුදෙක් සර්පිලාකාර පඩිපෙළක් ද? මා තවමත් නොපැහැදිළි අන්ධකාරයට නෙත් යොමමින් සිටී.
Ambuluwawa tower staircase, photography by Priyashan Jayasanka & edited by Keerthi Srilal

“එන්නේ කොහි සිටද?”
“යන්නේ කොතනට ද?”

මෙය මනුෂ්‍ය සංහතියේ එදා මෙදාතුර දිවෙන ඓතිහාසික මෙන්ම මිනිසාගෙන් වෙන් කළ නොහැකි ප්‍රශ්න ද්විත්වය යි. මේ ප්‍රශ්න ද්විත්වය මත පදනම්ව ආර්ථික, දේශපාලනික, සාමාජීය හා ආගමික වශයෙන් ලෝකය ගොඩනැගී ඇති බව ඔබ මොහොතකට හෝ සිතුවාද?
ඉතිහාසය හැදෑරීමේදී එහි ආරම්භක අවධියෙහි ලෝකය විග්‍රහ කිරීම ආගම මත පදනම්ව සිදුවී තිබේ. තමාට තේරුම්ගත නොහැකි සියල්ල අදෘශ්‍යමාන බලවේඟයකට පවරාදීමේ දේව සංකල්පය මතින් එක් එක් සමාජ පද්ධති ආශ්‍රිතව විවිධ ආගම් බිහිවූයේ ය. මෙහි මූලික සංකල්පය වූයේ සර්ව බලදාරී දෙවියන් විසින් ලෝකය ඇතුළු මිනිසා මැවූ බවත් එතුමාට ගැති වන්නන් මරණින් මතු උන්වහන්සේ සමීපයට ගන්නා බවත් හා එසේ නොවන්නන් මරණින් මතු දුක් විඳීම උදෙසා සදාකාලික නිරයකට හෙළන බවත් ය. ඔබ අප සියලුදෙනා දන්නා ස්වාභාවික නියමයක් මෙහි පාලක නීතිය ලෙස යොදා ගැනේ. එනම් “ප්‍රභලයා විසින් දුබලයා පාලනය කිරීම” යි. ශාරීරික, දේශපාලනික, ධනවත් යන කිනම් ආකාරයකින් හෝ ප්‍රභල පුද්ගලයා විසින් දුබලයා හික්මවීම, කොටින්ම සිංහයා විසින් මුවා ගොඳුරු කර ගැනීම මෙහි සරළ කාරණය යි. මෙහිදී සර්ව බලදාරී දෙවියා ප්‍රභලයා වන අතර මනුශ්‍යයෝ එතුමාගේ දුබල අතවැස්සෝ ය. දෙවියන්ට සම්බන්ධීකාරකයන් වන ආගමික නායකයන් හා එම ආගමික නායකයන්ගේ උපදේශනය මත රාජ්‍ය පරිපාලනය කරන පාලකයින්ගෙන් සමන්විත සමාජ පද්ධතියක් මෙලෙස නිර්මාණය විය. ජනාවාස පුලුල් වීමේදී නව ජන කොට්ඨාස හා මුසුවීම මුල්කොට ඇතැම් ආගම් එක් දෙවියෙකුගේ සිට දේව මණ්ඩලයක් දක්වා පැවැත්ම මුල්කොට ගනිමින් විකශනය විය. කෙසේ වුව ද නව දැනුම සොයාගැනීමට බාදකයක් වූ මෙම ආගම් මූලික සමාජ ක්‍රමයන්, “කුතුහලය හා පරීක්ෂණය” යන මිනිස් සොබාවය මගින් අභියෝගයට ළක්වන්නට වූයේ ඉන් අනතුරුව යි.
‘දර්ශනය’ මගින් ලෝකය විග්‍රහ කිරීම, ආගමට ආදේශකයක් වශයෙන් මෙහිදී මතු වී ආවේ ය. මිනිස් ඥානයට ගෝචර වූ සෛද්ධාන්තික සංකල්ප ඔස්සේ ලෝකය විවරණය කිරීම මෙහි දී සිදුකරන ලදි. දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් වරක් පැවසූ යේ “අපරීක්ෂිත ජීවිතය ගෙන යෑමෙන් පලක් නොමැත”(The unexamined life is not worth living) යන්න යි. දර්ශනයේ උසස් ලක්ෂනය වූයේ අක් මුල් නොමැති භක්තිමත් වන්දනාවන්ට නොව මිනිස් දැනුමට ගරුත්වය ලැබීම යි. නමුත් මෙහි ප්‍රබලව මතු වූ කාරණය වන්නේ ලෝකය විග්‍රහ කිරීමේ දී “විඤ්ඤානය” යන මිනිසාට සංවේදී සංකල්පය ඔස්සේ සියලු විග්‍රහයන් දෙයාකාර වන බවයි. විඤ්ඤානය යනු ඇස, කන, නාසය, දිව, කය හා මොළයට අමතරව සිත නමැති සියලු ඉන්ද්‍රියන් හා සංවේදීවන, මරණින් මතු ද යම් ආකාරයකින් ක්‍රියාත්මක වන හා යම් තැනක සිට පැමිණ උප්පත්තියේ දී එක්වන ‍යම් දෙයකි. එමනිසා විඤ්ඤානය පිළිගැනීම හා නොපිළිගැනීම මත මූලික දර්ශනයන් දෙකක් ගොඩ නැගුණි. එනම් විඤ්ඤානවාදය හා භෞතිකවාදය යි. කුමන දර්ශනයක වුව ද ලෝකය විග්‍රහ කිරීම උදෙසා අඩු වැඩි වශයෙන් විද්‍යාව යොදා ගන්නා ලදි. භෞතිකවාදී දර්ශනයන් තුළ විද්‍යාවට ප්‍රබල ස්ථානයක් ලැබේ.
භෞතිකවාදී දර්ශනයක් වන මාක්ස්වාදය කෙරෙහි අවධානය යොමු කරමු. ලෝකය විග්‍රහ කිරීමේ දී මාක්ස් සිදුකරන ලද්දේ ජර්මන් දාර්ශනිකයකු වූ විල්හෙල්ම් හේගල්ගේ ද්වන්දාත්මකවාදය, විඤ්ඤානවාදයෙන් උඳුරා මුලුමනින්ම භෞතිකවාදී සංකල්ප ඔස්සේ පෝෂණය කිරීමකි. මුලින්ම මාක්ස් පෙන්වා දෙන්නේ අවකාශයේ කිසිවක් හුදකලාව නොපවතින බවත් හා සෑම දෙයක් ම එකිනෙක මත රඳා පවතින බවත්, එකිනෙක මත නිශ්චිත වන බවත් ය. දෙවනුව සෑම දෙයක් ම චලනය වන බවත් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් වර්ධනය වන් බවත් ඔහු විසින් පෙන්වා දෙයි. තෙවනුව මෙම ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වර්ධනය විරුද්ධ තත්ත්වයක ගැටුමක් තුළින් අවසන් වන බව මාක්ස් විසින් පෙන්වා දෙයි. මේ අනුව යම් දෙයක මතුපිටින් පෙනෙන තත්ත්වයට විරුද්ධ තත්ත්වයක් එහි වර්ධනයත් සමග අභ්‍යන්තරිකව අඩු වැඩි වශයෙන් ගොඩනැගී යම් නිශ්චිත මොහොතක ගැටුමක් මගින් වෙනස් දෙයක් බවට පත්වී නිශේධනය වේ. කාලයත් සමග මෙම වෙනස්වීම වෘත්තාකාරව නොවන බවත් එය සර්පිලාකාරබවත් එනම්, ඉතිහාසය තුළ එකිනෙකට බොහෝ සේ සමාන සිදුවීම් හමුවුව ද සර්ව සමාන සිදුවීම් හමුනොවන බවත් මාක්ස් කියයි. වෙනස්වීම සංකල්ප තුනකින් සමන්විතය. ප්‍රවාදය(Theisis), ප්‍රතිවාදය(Anti theisis) හා සහවාදය(Syntheisis) ඒ තුනයි. පවත්නා තත්ත්වයට ප්‍රවාදයත්, ඊට විරුද්ධ තත්ත්වයට ප්‍රතිවාදයත් එම දෙකෙහි ගැටීමෙන් ඇතිවන අලුත් තත්ත්වයට සහවාදයත් යැයි කියනු ලැබේ. මේ ලෙසින් වූ මාක්ස්වාදය මගින් ආර්ථික, සමාජයීය, දේශපාලනික අර්බුද සඳහා විසදුම් යෝජනාවන සමාජවාදය ගොඩනගනු ලැබෙයි. සරළ උදාහරණයක් ලෙස “මුහුද ගොඩකර තනන දූපතක්” සළකමු. අවකාශය තුළ මුහුද හුදෙකළාව නොපවතින බව හා එය ග්ලැසියර, ගොඩබිම ආදිය සමග එකිනෙක මත රඳා පවතිමින් පවතී. ගොඩකිරීම නමැති ක්‍රියාදාමයට ප්‍රතිවිරුද්ධව සාගර ජලය විස්තාපනය වැනි ප්‍රතිරෝධී ක්‍රියාවලි ගොඩනැගීමෙන් යම් අස්ථායී බාවයකට පත්වේ. මෙම ක්‍රියාවලි දෙකෙහි ගැටුමක් ලෙස සාගර මට්ටමේ භූමිය සාගරයට යටවීම, වෙරළ ඛාදනය, ග්ලැසියර නායයෑම මෙන් ම බරපතළ තත්ත්වයේ භූමිකම්පාවක් වීමෙන් හෝ පද්ධතිය ස්ථායී වීම සිදුවිය හැක. මාක්ස්වාදය මුලුමනින්ම විද්‍යාව මත පදනම්ව කරුණු විග්‍රහ කරන දර්ශනයක් වන අතර ලෝකයේ බිහිවීම, විනාශය ආදී කරුණු විද්‍යාව මත විවරණය කෙරෙයි.
විඤ්ඤානවාදය ආගම් පෝෂණය කෙරෙන මාධ්‍යයක් ලෙසින් දර්ශනය තුළ වුව ද අවභාවිතයට ලක්වන්නකි. එය දර්ශනයේ ආගමනයත් සමග ආගම්වල පැවැත්ම කෙරෙහි ඇතිවූ අභියෝගය හමුවේ, ආගම් විසින් විද්‍යාව තමන්ට වාසි අයුරින් භාවිත කෙරෙමින් ගොඩනැගූ සිංහ හමකි. “ඔවුන් විශ්වාස කරන්නේ ගිනි ඇවිළී තිබූ පඳුරට කතා කළ හැකියි, ජීවත් වූ සෑම සත්ත්ව විශේෂයක් ම නෝවාගේ නැවට නංවා ගත හැකියි. මිනිසුන් ලුණු කණු බවට පත්වන්නේ ය.”* මෙම විසංවාදයන් හමුවේ වුවද ‘ආගම’ සමාජ සංදර්භයෙහි සුවිශේෂී ලෙස ස්ථානගත වී ඇත්තේ මන් ද?
මෙම ගැටලුවට පිළිතුරක් ලෙස අප රටේ විසූ විශිෂ්ඨ සමාජ විද්‍යාඥයෙක් වූ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් තම ‘සමාජ විද්‍යාවේ මූලධර්ම’ ග්‍රන්ථයෙහි උදාහරණයක් මගින් මෙලෙස දක්වා ඇත. “එක්තරා ගමක මිනිසෙකුගේ එක ම එළදෙන හරක් හොරෙකු විසින් ගෙන යන ලදි. දුකට පත් අසරණ මිනිසා උසුලා ගත නොහැකි ශෝකය නිසා පසු කාලයෙක අසනීප ව මිය ගියේ ය. එබඳු ම තවත් මිනිසෙක් කළේ පිහියක් රැගෙන ගොස් හරක් හොරාට ඇනීම ය. හොරාට තුවාල වුවත්, පිහියෙන් ඇන්න මිනිසාට හිරගෙයි ලගින්නට විය. මේ අතර අප දන්නා තවත් කතාවක් විය. වෙනත් මිනිසෙක් තමාගේ හරකා මෙසේ හොරකම් කළ විට ඒ ගැන පොලීසියට පැමිණිලි කළේ ය. පන්සලට ගොස් යාතු කර්ම සිදු කොට, වස් කවියක් ද දේවාලයේ කියවී ය. හරකා ලැබුණත්, නැතත් ඉහත කී මිනිසුන් තිදෙනාගේ චර්‍යාවන් අතරින් ඒ මිනිසාටත් සමාජයටත් කරදරයක් අඩුවෙන් ම සිදු වූයේ තුන්වැනි හැසිරීම් රටාවෙනි. තුන් වෙනි මිනිසා ආගමින් පිහිට ලැබීමට තැත් කොට තම දුක් වේදනාව හැකිතාක් දුරට යාතු කර්මයෙන් සංසිඳවා ගත්තේ ය.”
නමුත් කාලයත් සමග ආගමික ඉගැන්වීම් දෝෂ සහගතව අන්තවාදී අයුරින් නිර්වචනය වනවා මෙන්ම යම් යම් අවස්ථාවාදීන්ගේ අවභාවිතයන්ට ද ලක් වී ඇත. “මිත්‍යාදෘෂ්ටිකයා මරා දමන්න. එවිට දෙවියන් වහන්සේ ඔබ සමග වන්නේ ය.” මෙම වාක්‍යය මවිසින් නිර්මාණය කරන ලද්දකි. දැන් මෙය කියවන විට ඔබට සංනිවේදනය වූ අර්ථය කුමක් ද? කෙසේ වෙතත් මම මෙයින් අදහස් කළේ “තමා තුළ තිබෙන මිත්‍යා මතයන් ඉවත් කිරීම මගින් සැනසීම ලැබේ” යන්න යි. නමුත් සාහිත්‍ය භාවිතය තුළ අලංකරණ කරමින් එය ලිවීම නිසා ඒ පිළිබඳව ඉගැන්වීමක් ද සිදුකළ යුතුව ඇත. ආගමික ග්‍රන්ථයන්ටද මෙය සිදුවූවා විය හැක. කාලයක් ගතවීමත් සමග වාචිකව පැවත එන ඉගැන්වීම කෙරෙහි සැක ඇතිවෙයි. එවිට ඔවුන් තම ඇදහිලි සොයන්නේ පැරණි ආගමික ග්‍රන්ථ තුළිනි. විචාර බුද්ධිය නොමැත්තේ විනාශයට මං සොයන්නේ නොවේ ද? තවත් සුලු පිරිසක් ඉතා දැනුවත් බාවයෙන් යුතුව ම අක් මුල් නොමැති මෙම ආගමික සංකල්පයන් භාවිත කරමින් ආර්ථික, දේශපාලනික වාසි තකා සමාජය අවිද්‍යාව තුළ ගිල්වමින් මනුෂ්‍යත්වය නීච ලෙස දූෂණය කරමින් ඉතිහාසය පුරාවටම කලු පැල්ලන් ඇති කරමින් අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නිරවද්‍ය, ආගමික ගැති නොවන අධ්‍යාපනයක් තුළින් විවෘත මනසකින් ලෝකය දකින්නා දිනෙක මෙසේ පවසනු ඇත. “මම දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ පමණට ම ඔබ කෙරේ ද විශ්වාසය තැබීමි. දෙවියන් වහන්සේ වූ කලී, මට මිටියකින් විනාශ කළ හැකි මැටියෙන් තැනූ භාණ්ඩයක් පමණ ය. ඔබ බොරුවකින් මා මෝඩ කළෙහි ය.”#
‘බුද්ධාගම’ ආගමක් ද? එය දර්ශනයක් යැයි කියා කර හැරීමට හැකි ද? නොහැකිය. ආගමක් වශයෙන් සමාජයට ඇති කරන ඇතැම් බාධක ස්වභාවයන් වත්මන් බුද්ධාගම තුළ පැලපදියම් වී ඇත. බුදුන් වහන්සේ ධර්මයේ ආරක්ශාව වෙනුවෙන් පැන වූ විනය පවා මුලුමනින් ම උල්ලංඝනය කෙරෙමින් බඩගෝස්තරවාදී ආක්‍රමණයකට ලක්ව ධර්මයේ භාවිතාවත්, ධර්මයත් ලෝකයෙන් ගිලිහෙමින් ඇත. කෙසේ වුව ද ඉතිහාසය තුළ පැවැත්ම තහවුරු කර ගැනීමේ තීරණාත්මක නිශ්චිත මොහොතවල් වල දී ක්‍රමයෙන් බුදු දහම ආගමීකරණය වී යැයි, සැලකිය හැකිය. නමුත් අද පවතින සමාජ වටපිටාව තුළ බුදු දහමේ නිරවද්‍ය ඉගැන්වීම් සමාජගත කිරීම තුළ ශාසනික ප්‍රජාවත්, උගතුනුත් ගන්නා උත්සාහය කිසිලෙසකින්වත් ප්‍රමාණවත් නොවේ.
බුදු අහම තුළින් ඉගැන්වෙන්නේ අගක් මුලක් නොමැති සංසාරයක් පිළිබඳව ය. ඒ තුල සත්ත්වයා ඉපදෙමින් මැරෙමින් ගමන් කරයි. බුදු දහමේ මූලික ඉගැන්වීම චතුරාර්‍ය සත්‍යයයි. එනම් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය ආදිය යි. ඉපදීම, මියයාම ආදී වශයෙන් වියෝගයත්, වියෝගය උරුමකරදුන් සම්ප්‍රයෝගයත් යන දෙකම දුක ලෙස දක්වා ඇත. අනිත්‍ය බාවය හෙවත් වෙනස් වීම නමැති ස්වභාවය තේරුම් නොගැනීම හේතුවෙන් මමය, මාගේය කියා ආත්ම වශයෙන් ගැනීම නිසා දුක හට ගන්නා බව බුදු දහම පවසයි. සංසාරයෙන් නික්මීම හෙවත් නිවන දුක නැති කිරීමයි. එම දුක නැති කරනා මාර්ගය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය බව මෙහි ඉගැන්වේ. මෙම අංග අට වන්නේ නිවැරදි දැකීම, නිවැරදි සංකල්පනාව, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව, නිවැරදි දිවි පැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය පැවැත්වීම හා නිවැරදි සමාධිය යි. මේ එක් එක් අංගය පිළිබඳ සවිස්තරාත්මක ඉගැන්වීමක් බුදු දහම තුළ අන්තර්ගතය. මෝක්ෂය හෙවත් සංසාරයෙන් එතරවී දුක කෙළවර කරගැනීමට කැමති තැනැත්තා සිදුකළ යුත්තේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිපැදීම පමණි. තවදුරටත් ලෝකස්වභාවය හා පැවැත්ම පිළිබඳව ද බුදු දහමේ ඉගැන්වෙයි. පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල දහම මගින් ලෝකයෙහි සියලු දෙයක්ම ඇතිවෙමින් නැතිවෙමින් පවතින බව පැහැදිලි කරයි. සියල්ලගේම ආරම්භය ඉමක් නොවන කාලයකදී ඇති වූ බවත්, එය ඉමක් නොවන කාලයක් දක්වා දිවෙන බවත් බුදු දහමේ ඉගැන්වෙයි. තවද සත්ත්වයාගේ සාංසාරික පැවැත්ම පිළිබඳවද බුදු දහම කරුණු දක්වයි. අවිද්‍යාව, සංස්කාර, විඤ්ඤානය, නාම-රූප, සළායතන, ඵස්ස, වේදනාව, තණ්හාව, උපාදානය, භවය, ඉපදීම, ජරා-මරණ ආදී වශයෙන් වූ අංග දොළොසක ඇතිවීම නැතිවීම් ස්වභාවය කොට ගෙන සත්ත්වයා පවතින බව මෙහෙ දී ඉගැන්වෙයි. මෙම අංග දොළොසම එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් හේතු ඵල වශයෙන් ක්‍රියාත්මක වන බවත් අංගය දෙකක් ඉවත් කිරීම තුළින් සත්ත්වයාගේ සාංසාරික පැවැත්ම නතර කළ හැකි බවත් බුදු දහම පෙන්වා දෙයි. එනම් අවිද්‍යාව සහ තණ්හාවයි. මෙම අංග දෙක ඉවත් කිරීමේ ක්‍රමවේදය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ලෙස උගන්වනු ලබයි. තව දුරටත් ලෝකස්වභාවය අධ්‍යනය කරනු ලබන්නට කැමැත්තන් හට පරමාර්ථ ධර්මයන් මූලික වශයෙන් චිත්ත, චෛතසික, රූප, නිර්වාණ වශයෙන් හතරාකාරයකිනුත් දීර්ඝ වශයෙන් ආකාර අසූ දෙකකිනුත් අභිධර්මය තුළ විස්තර කරයි.
මෙම මූලික ඉගැන්වීම් වලට අමතරව යම් යම් අවස්ථාවලදී බුදු වහන්සේ විසින් විවිධ දෑ පිළිබඳ පැහැදිලි කිරීම් සිදුකර තිබේ. ග්‍රහ ඵලාපල දැන සිටි එක්තරා භික්ෂුවක් තරුවක් දෙස බලා ගණනයන් සිදුකරමින් සිටි අවස්ථාවකදී එම තාරකාව මීට බොහෝ කලකට පෙර පුපුරා ගිය එකක් බව බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. සහස්ස ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයට අනුව ඉර, හඳ මගින් ආලෝකය පැතිරෙන සීමාවෙහි සත්ත්වයන් වෙසෙන තල තිස් එකකින් යුත් චක්‍රාවාටයකි. නරක, තිරිසන්, ප්‍රේත, අසුර ලෙස අපාය හතරකිනුත්, මනුශ්‍ය තල එකකිනුත්, චාතුමහාරාජිකය, තාවතීසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය ලෙස දිව්‍ය තල සයකිනුත් රූපාවචර බ්‍රහ්ම තල දාසයකිනුත් හා අරූපාවචර බ්‍රහ්ම තල හතරකිනුත් මෙම තල තිස් එක සමන්විත වේ. මෙවැනි ඉර, හඳ සහිත තල තිස් එකක් සහිත චක්‍රාවාට දහසක් එකතු වීමෙන් සෑදෙන ලෝක ධාතුව, සහශ්‍රී ලෝක ධාතුව හෙවත් චූළනී ලෝක ධාතුව යැයි කියනු ලැබේ. එවැනි චූළනී ලෝක ධාතු දහසක්(චක්‍රාවාට දස ලක්ෂයක්) එකතු වීමෙන් ද්වීසහශ්‍රී මධ්‍යම ලෝක ධාතුව ද එවැනි ද්වීසහශ්‍රී මධ්‍යම ලෝක ධාතු දහසක්(චක්‍රාවාට සියක් කෝටියක්) එකතු වීමෙන් ත්‍රීසහශ්‍රී ලෝක ධාතුව ද නිර්මාණය වේ. සප්ත සුරියෝත්ගමන හා අග්ගඤ්ඤ සූත්‍ර වලට අනුව තල තිස් එකකින් සමන්විත චක්‍රාවාටයක් විනාශ වීමෙන් අනතුරුව ආලෝකයෙන් නිර්මිත කයක් සහිත සත්ත්ව කොට්ඨාසයක් වෙසෙන ආභස්සර නම් එක් බ්‍රහ්ම තලයක් නිර්මාණය වේ. අංශු ඒකරාශී වීමෙන් මෘදු පටල සහිතව ලෝකය නිර්මාණය වන අතර ආභස්සර සත්ත්වයන් එයට ආකර්ෂණය වේ. එම සත්ත්වයන් එම ලෝකය ආශ්‍රය නිශ්‍රය කරමින් එහි සාරය ආහාරයට ගන්නා අතර කාලයත් සමග ශරීර ආලෝකය තුරන් වී ඝන වෙමින් පරිණාමණයට ලක්වෙයි. සූර්‍යයෙක්ගේ හා චන්ද්‍රයෙක්ගේ ආලෝකය ලැබීම සිදුවන අතර ලෝකය ක්‍රමයෙන් ජීවී, අජීවී, සත්ත්ව, ශාක පරම්පරා වශයෙන් පරිණාමනයටත්, විකශනයටත් භාජනය වේ. බුදු දහමෙහි මූලික ඉගැන්වීම්හි ආකාරයට උපාදානය අනුව භවය සකස් වීමේ ධර්මයට අනුවත්, කර්ම-කර්ම ඵල නියමයට අනුවත් සත්ත්වයන් වෙසෙන තල තිස් එකක් වශයෙන් ලෝකය විකශනය වේ. එසේ ඇතිවන ලෝකයෙහි අති දීර්ඝ කාලයන් ගත වීමත් සමග සත්ත්ව, ශාක පරම්පරා පරිහාණියටත් නැවත ඉහළම තත්ත්වයන්ටත් අතර දෝලනය වීම සිදුවන බවත් බුදු දහම පෙන්වා දෙයි. මිනිසා ගැන දේශනා කරන බුදුන් වහන්සේ මිනිසාගේ අධාර්මික කල් ක්‍රියාව හේතුවෙන් අවුරුදු අසූ දහසක් පමණ වන ආයුෂයක් අවුරුදු දහයකට පමණ අඩු කර ගන්නා බවත්, මුරුඝ සංඥාවට ලක්ව එකිනෙකා මරාගැනීමෙන්(සොම්බි සංකල්පයට බොහෝ සෙයින් සමාන) අනතුරුව ඉතිරිවන පිරිස ක්‍රමයෙන් ධාර්මික දිවිපෙවෙතකට යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස නැවතත් අසූ දහසකට පමණ ආයුෂ වැඩි කරගන්නා බවත් පෙන්වාදෙයි. මේ දීර්ඝ කාලයන් අතරෙහි පසේ බුදුවරුන් හා බුදුවරුන් පහළ වන බවත් උන්වහන්සේ පෙන්වා දෙයි. යම් කාලයක දී ආපෝ(ද්‍රව), තේජෝ(උණුසුම), වායෝ(වාතය) හා පඨවි(ඝන) යන සතර මහා ධාතුවෙහි කැළඹීම හේතුකොට ගෙන ක්‍රමයෙන් ලෝකය විනාශ වන ආකාරය පෙන්වා දෙන බුදුන් වහන්සේ සප්ත සුරියෝත්ගමන සූත්‍රයේ දී ලෝක ධාතුන් හැකිලීමේ ප්‍රතිඵලයක් ලෙස සූර්‍යයන් හතකගේ ආගමනයක් පෙන්වා දෙයි. මේ වන විට සියලු සත්ත්ව තල තිස් එකම විනාශ වෙමින් ආලෝකය මුල් කොටගත් ආභස්සර බ්‍රහ්ම තලය නිර්මාණය වන බවත්(පවතින පරිසර තත්ත්වය මත අසුරකටත් වඩා අඩු ආයුෂයෙන් යුතු සත්ත්වයන් උපදින බවත් එම සත්ත්වයන් මරණයේ දී ආලෝකය උපාදානය කොට ආලෝකයෙන් නිර්මිත නව සත්ත්ව තලයක උපදින බවත්) පෙන්වා දෙයි. ඇතැම් සත්ත්වයන් කර්ම-කර්ම ඵල ස්වභාවය අනුව වෙනත් චක්‍රාවාටයක උත්පත්තිය සකස්කර ගනී. සියල්ල අවසානයේ මහා පිපිරුමකට ලක්ව අංශූන් විසිරී යන බව පෙන්වාදෙන බුදු දහම තවත් අති දීර්ඝ කාලයකට අනතුරුව නැවතත් අංශූන් ඒකරාශී වී නැවතත් ලෝකය ගොඩනැගී ආභස්සර ජීවීන්ගේ ආගමනය සිදුවන බවත් පෙන්වා දෙයි. කෙළවරක් නොපෙනෙන අතීතයක සිට කෙළවරක් නොපෙනෙන අනාගතයක් දක්වා මෙම චක්‍රාකාර නිමක් නොවන ක්‍රියාදාමය සිදුවන බව බුදු දහම පෙන්වාදෙයි. සියල්ල මෙසේ වුව ද තම ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ දැඩිව අවවාද කර සිටින්නේ ලෝකය පිළිබඳව අධ්‍යනය නොකරන ලෙසත් නාම-රූපයෙන් සැදුම් ලත් තමන්වම අධ්‍යනය කරන ලෙසත්, එමගින් ලෝකයත්, නිර්වාණයත් අවබෝධ කළ හැකි බවත් ය.
විද්‍යාවත් එහි භාවිතය වන තාක්ෂණයත් මගින් මිනිසා ඉහළ තැනකට ඔසවා තබා තිබේ. නමුත් මෙහි දී සලකා බලනුයේ අපගේ ඓතිහාසික ප්‍රශ්න දෙක පිළිබඳව බැවින් විද්‍යාවට ඒවාට දිය හැකි විසඳුම් බලමු. බුදු දහමේ මෙන්ම විද්‍යාවද සියල්ලගේ ආරම්භය අපරිමිත අතීතයකට පවරයි. එය විග්‍රහ කරන්නේ අපරිමිත අවකාශ ශාලාව(the infinity hall) යන සංකල්පය මගිනි.
“හිතන්න ඔබ අති විශාල දිගු ශාලාවක් හරහා ඇවිද එනවා. ඉතා දිගු කොරිඩෝවක් දිගේ වෙන්නත් පුලුවනි. එවිට ඔබ ආවේ කොතැනකින් ද, යන්නේ කොතනටද යන කරුණු සිතීමට අපහසු වෙනවා.”
“ඊළඟට ඔබට පසුපසින් ඈතින්, ඔබට ඇසෙන්නේ පොලා පනින බෝලයක හඬ. ඔබ හැරී බැලූවිට දකින්නේ පොලා පනිමින් ඔබ දෙසට එන බෝලයක්. එය එසේ පොලා පනිමින් ඔබ ආසන්නයට පැමිණ ඔබ පසුකර තවදුරටත් පොලා පනිමින් ඈතටම ඔබට නොපෙනෙන තරම් ඈතටම යනවා”
“බෝලය පොලා පැන්නාද? යන්න නොවෙයි ප්‍රශ්නය. බෝලය පොලා පැනීම ඔබ පැහැදිලිව දුටුවා. ඔබ එය නිරීක්ෂණය කළා. ප්‍රශ්නය වන්නේ එම බෝලය පොලා පැන්නේ ඇයි? එම පොලා පැනීම ආරම්භ වූයේ කෙසේ ද? කිසිවෙකු මුලින්ම එය බිමට දමා ගැසුවා ද? එය පොලා පැනීමෙන් ප්‍රමෝදයක් ලබන සාමාන්‍ය බෝලයක් ද? භෞතික විද්‍යා නියමයන්ට අනුව එම ශාලාව හෝ කොරිඩෝව තුළ දී බෝලයට දිගින් දිගට ම සදාකාලිකවම පොලා පැනීම හැර අන් විකල්පයක් නැතිද?”*

මෙමගින් අපට පෙන්වා දෙන්නේ පරිණාමයේ ආරම්භය කෙසේ සිදුවීදැයි දැනගැනීමට තරම් ඈත අතීතයක් දෙසට අපගේ නෙත් යොමුකළ නොහැකි බවයි. අතීතයේ කාලය(T) ශූන්‍ය‍යට ආසන්න එක්තරා මොහොතක දී අවකාශය තුළ අපරිමිත ශක්ති, ස්කන්ධ අංශුවක පිපිරීයාමෙන්(Big Bang theory) වර්තමාන විශ්වය බිහිවි ඇතැයි විද්‍යාව පවසන නමුත් එම අපරිමිත ස්කන්ධ ශක්ති ගුප්ත තිත කවර නිමේශයක, කවර ආකාරයකින් ඇතිවීද යන්න කීමට තවමත් අපොහොසත් වෙයි. “මහාචාර්‍යවරයෙකු සම්භවය පිළිබඳ තමන් වෙතින් කෙරෙන විමසීම්වලින් වෙහෙසට පත්ව අවසානයේ සිය පන්ති කාමරයේ දොරේ අලවා තිබුනේ මෙවැනි සටහනකි.
මගේ පන්තියේ දී, T > 0
T = 0 කොතනකදැයි කෙරෙන සියලු විමසීම් සඳහා කරුණාකර ආගම් පිළිබඳ අධ්‍යන අංශය වෙත යන්න.”*

මහාචාර්ය කාලෝ ෆොන්සේකානන්ට අනුව “විද්‍යාව යනු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ දෑ ය.” තවද විද්‍යාව පරීක්ෂණය, නිරීක්ෂණය සහ නිගමනය යන අංග තුන මත පදනම් වේ. මේ අනුව විද්‍යාවෙහි සොයාගැනීම් බොහෝ සෙයින් සදොස් වනවා මෙන්ම සෑම පුද්ගලයෙකුටම මනා අධ්‍යනයකින් අනතුරුව වටහා ගත හැකිය. නමුත් බුදු දහමෙහි අර්ථය අධ්‍යනයකින් ලැබිය නොහැක්කකි. ඒ සඳහා තම හෘද සාක්ෂියට එකඟව ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු බව අවධාරණය කෙරෙයි. ඇල්බට් අයින්ස්ටයින් විසින් පෙන්වා දෙන ආකාරයට ගුරුත්වාකර්ෂණයට නතුව යම් මොහොතක දී ආලෝකය හැරීමකට භාජනය වෙයි. විශ්වය පිළිබඳ අධ්‍යනයේ දී ප්‍රබලම නිරීක්ෂිත මාධ්‍යය ආලෝකය යි. මෙම ආලෝකයේ හැරීම හේතුකොට අපගේ නිරීක්ෂණය කළ හැකි විශ්වය අතිශය විශාල අරයකින් යුතු ගෝලයකට සමාන දෙයකට ඌනනය වන බව අයින්ස්ටයින් විසින් පෙන්වා දෙයි. එවිට ගැටලුව වන්නේ අනාගතයේ වුව, අති දියුණු දුරේක්ෂාදියෙන් විශ්වය නිරීක්ෂනය කළ ද ඒ පෙනෙන දෙය ඇත්තටම කොතන පිහිටන වස්තුවක් ද යන්න නීර්ණය කළ නොහැකි වීම යි. වරක් තම දේශනයක දී මේ පිළිබඳව අයින්ස්ටයින් විසින් පැහැදිළි කරන විට යමෙකු ප්‍රශ්න කර සිටියේ “මෙම ගෝලාකාර නිරීක්ෂණය කළ හැකි විශ්වයෙන් පරිබාහිරව ඇත්තේ කුමක් ද?” යන්න යි. ඊට අයින්ස්ටයින්ගේ පිළිතුර මෙසේ විය.
“මෝඩ ප්‍රශ්න නොඅසා වාඩි වෙන්න.”

* Origin by Dan Brown පරිවර්තනය සම්භවය, කුමාර සිරිවර්ධන
# The Gadfly by E. L. Voynich පරිවර්තනය ඇට මැස්සා, සුගතපාල ද සිල්වා

~ ලාල්

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2019/12/%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%84%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b6%af-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ad/
Twitter20
Share20
0 votes