සෙබළෙකුගේ කතාවක්…

යුද ගිනි වැළඳ හදවත දරු පෙමින් දැවූ
මව සහ පියෙකි විරුවෙකු රණ බිමට යැවූ
රණ විරු පදක්කම් නොපෙනී දෑස නිවූ
කදුලකි! මවකගේ හසරැළි දුරක යැවූ

දුරකථනයේ නාදය නැගෙන සැනෙකිණි
මව පැන රැගෙන රිසිවරයට සවන රැඳවුණි
හද පුබුදුවා සුපුරුදු හඬ සවන පැතිරුණි
වා කැළඹිළා දරු පෙම වචනයට පෙරලුණි

ආ ගිය තොරතුරුය දෙපසට පැවසෙන්නේ
පුතු එන බවෙකි මෙපුවත් රැස පවසන්නේ
එනමුදු තවත් කරුණකි මෙහි පසුවෙන්නේ
අමුතුය නුපුරුදුය පුතු හඬ මෙහි වන්නේ

“අම්මේ, සොහොයුරෙකි මා හා යුද වැඳුණු
අත් පා සිඳී යම්තන් පණ කඳ රැඳුණු
අසරණයෙක් ය වෙන කවුරුත් නැති රැඳෙණු
අවසර දෙන්නෙ නම් රිසි අප හා රැඳෙණු”

මා පිය හඬය, කෙඳිරුණි මෙහි නොමැති ලෙස විරි
“මා පුතුනුවණි, දුබලය අප පවුල නැති බැරි
අබලං ඔරුවක් ය තව ගෙන රඳනු බර බැරි
කෙළෙසක ගමු ද හේ හබලක් රඳනු අත බැරී”

තරමක නිහැඬියාවක් මෙහි පැතිර ගතී
සුසුමක කෙළවරක ඇමිණී ඉපිද ගතී
සුසුමන් මකා හසරැලි හඬ නගනු සිතී
විළසක එපුතු එදෙබස වෙනතකට ගතී

එදෙබස කෙළවරෙහි දින සති ගත ව ඇතී
පුතු නම් තව ම නැති එන පාටකුත් නැතී
යුද ගිනි ඇවිළ බෝ විරුවන් මෙලොව නැතී
මා පුතු සමග දෙව්ලොව උන් වෙසෙනු ඇතී

මව්වරු වේ ද යුදයට තම පුතුන් වැදූ
පියවරු වේ ද යුදයට තම පුතුන් හැදූ
රකුසන් වෙසෙන කල මව්බිම යුදෙන් බිඳූ
බෝසත්වරුන් වෙති තම පුතු රටට පිඳූ

යුදයෙන් පදම් වී දිවියම අවිය වෙතී
හදවත් කුළෙන් නෙලුවද සෙනෙහෙන් බිදෙතී
අතරෙක පරතරෙක හිඩැසක් තබනු නැතී
විරුවෙකු ලෙසිනි ඒ පුතු නම රැදෙනු ඇතී

එ දවස දුරකථන සැබැදුම නතර වුණී
හෝරා ගතව දිනකර සිඳු සැඟවගනී
අඬ හද පලුව නුඹ ගැබ නැග එළිය දුණී
අත් පා අහිමි විරුවෙක් වැව වෙත ඇඳුණී

එක් විරුවෙක් ය මා පිය සෙනෙහස ලැබුණූ
තව විරුවෙක් ය අත් පා ගැල වී වැටුණූ
මේ විරු දෙදෙන එකෙකිය දෙදෙනෙකු නොවුණූ
නිසසල අඩ කයකි වැව් දිය මත රැදුණූ

~ ලාල්

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2019/05/%e0%b7%83%e0%b7%99%e0%b6%b6%e0%b7%85%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter20
Share20
0 votes