• Home »
  • Entertainment »
  • හැල්මේ දුවන ජීවිතවලින් මොහොතක් නවතින්නට…

හැල්මේ දුවන ජීවිතවලින් මොහොතක් නවතින්නට…

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ විදියට තමයි අපේ ජීවිතයට ආදරය ලංවෙලා තියෙන්නේ. සාහිත්‍යය නිර්මාණ ගැන කියන විට ආදරය හා බැඳුනු නිර්මාණ අපේ ජීවිත වලට ගොඩක් සමීපවෙලා කියලයි මට හිතෙන්නේ. ඒ ආදරය කියන එක නව නළු රසයන් සියල්ල ම වගේ මතුකර දක්වමින් මනමෝහිණීය ආකාරයෙන් සාහිත්‍යය තුල ඉදිරිපත් කරන නිසා වෙන්න ඇති. ඇත්තටම ආදරය කියන්නෙත් හැමාකාරයෙන්ම වූ හැගීම් ගොන්නක් කැටිවුණු එක්තරා සුවිශේෂී මනෝබාවයක් නිසා වෙන්නම ඇති ඒ ආදරය මුසු නිර්මාණ අපට ගොඩක් ම සමීපවන්නේ. ඒත් වර්තමාන අපේ පරපුර මේ සාහිත්‍යය නිර්මාණයක රසය අර්ථාන්විතව රසවින්දනය කරනවද කියන එක නැවත වරක් සිතිය යුත්තක් වෙලා. හැල්මේ දුවන ජීවිතත් එක්ක කවියක් ගීතයක් කියන දේ අද ශබ්ද රසයට පමණක් මායිම් වෙලා තියෙන එක කනගාටුවට කාරණයක් ම විතරක් නොවේ, එය බිඳවැටෙන සමාජ පද්ධතියක අධ්‍යාපනික පිරිහීමේ මිනුම් දර්ශකයක් ද වෙනවා. ගීතයක අර්ථ විමසන්නට නොනවතින මනසකට මානුෂික හැගීම් පිළිබඳ සංවේදිතාව ගිලිහී යාමට තව කොතරම් කාලයක් ගතවිය යුතු ද යන්න තම තමන්ගේ හදවත් තුලින් විමසා බැලිය යුතු කාරණයක්. කොහොම වුනත් මා දැන් කියන්න යන්නේ එක්තරා ආදර සංසිද්ධියක්. මගේ උත්සාහය සිහින් සිතුවිලි ගංගාවක් සේ මේ කතාවට ගලා යන්න ඉඩ හැරීමයි. ඒත් හැම ආදර කතාවකටම ඒකට ම අදාල ආවේණිකත්වයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ…

ඇගෙයි මගෙයි ආදර කතාවට මේ තරම් දුරක් ආවට පස්සෙත් කනකොකා හඬාවි කියල කව්ද හිතුවේ. ඇගේ සියලු විරෝධයන්ට ඉහළින් අපේ ආදරයට එරෙහි රළ කඩාවැදිලා අවසන්, සියලු දේ අවසානයේ දී ඇය අපේ සම්බන්ධයට තිත තියන්න සැරසිලා වත් ද? ඒක එහෙම වුණත් ඇයට දොසක් කියන්න මට හැකියාවක් තියෙනව ද?

හැමදාමත් දෙ අත් පටලන් තරු වියන යට බොලඳ කතා දොඩමළුවුණු කඳු පාරේ, අදත් ඇය එනතුරු මා සිටින්නේ සිදුවීමට නියමිත හදවත් බිදුම සිහිනයක් ව නික්මයාදෝ යන දෙගිඩියාවෙනි. ඈත ගණදුර තුලින් ඡායාවක්ව මතු වූ ඇගේ රුව කෙමෙන් කෙමෙන් සමීප වූයේ ඇගේ මුහුණේ ඇදි සේයාවන් මසිත කම්පාකරවමිනි.

වරක් අප මුණගැසුණු එක් යාමයක ඈත කඳුයාය එපිටින් පායා තිබූ සත් පාට දේදුන්නක්, මා ඇගේ දෙනෙතේ කාන්තියට උපමා කලා මට අද වාගේ මතකයි. සොවින් ඈ දෙනෙත ජනිත කඳුලු බිදු ඈ දෙනෙතේ කාන්තිය අනුකම්පා විරහිතව සෝදා දමා ඇත. වෙනදා ඈ දෙනෙතේ කාන්තියට පරාදව නිසලව පෑයූ සඳමඬල, අද තරු වියන මැද අප හිස් මුදුනේ පායා ඇත්තේ මේ සීතල යාමයේ ඔච්චමට මෙන් දැයි මොහොතකට හෝ මා සිතුවේ ඈ දැක්මෙන් මසිත හටගත් වේදනාව මොහොතකට හෝ අමතක කරලීමේ අටියෙනි.

දෙකොපුළ් තලය කඳුලින් තෙමා නිසලව මදෙස බලා සිටි ඇය ඉකිගසා හඬන්නට විය. වෙන දා මෙන් තුරුලට ගෙන සනසවන්නට වාරු නැති ලෙස අද මා කඩා වැටී ඇත්තේ, ඇගේ ළමැද ගැස්සී ජනිත වන සන්තාපය මීදුම් වලාවක රැදි සෝ ගීයක් ලෙසින් මා සවනේ දැවටී පාවී ගොස් ඈත බොල් හුළගේ හැපී බිඳෙන අයුරු අත්දකිමිනි.

සොවින් බර වී වාරු නැති එකියක මෙන් ඈ මට වියෝව නිහඬ සුසුමින් තිළිණ කර දී සීතල අන්ධකාරය තුලට සමුගත්තේ මා දෙනෙත් කඳුලට බාරකරමිනි. “චන්ද්‍රයානෙණි නුඹ කාන්තිය මා කඳුලු තුල කිමිදී කිමිදී මාගේ දුක තුනී කළ මැනවි. ඈ මා මේ දිවි අන්ධකාරයේ තනි කලා සේ මේ රාත්‍රී අන්ධකාරය තුළ මා තනි නොකරනු මැනවි.”

ප්‍රේම ජවනිකාව නම් ඉවරයි. මේ ටික කියවීමෙන් ඔබගේ සිතෙහි කුමන හැඟීම් සමුදායක් උත්පාදනය වී දැයි මා දන්නේ නැහැ. ඒත් ඒ සඳහා මා වැය කළ වචන සියල්ල සොඳුරු ගීතයකට කැටිකොට ඇති බව ඔබට තේරුම් යා යුතුව තිබුණා, ඔබත් අර්ථාන්විතව ඒ ගීතය මීට පෙර රසවින්දනය කර තිබුනේ නම් පමණක්. මොකක්ද ඒ ගීතය? බලන්න එය අපට හැමදාම ඇසෙන ඉතා සුන්දර ගීතයක්…

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ

ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ

පාට දේදුනු සේදිලා…

මා නුවන් දියේ
පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සඳේ

පාට දේදුනු සේදිලා…

ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී

~ලාල්

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2019/03/%e0%b7%84%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%b1-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8/
Twitter20
Share20
1 vote