“රීඩ් හැන්දෑව 2018”

පරිගණක තාක්ෂණයට මැදිවී කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ විද්‍යාර්ථීන් ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී ඒ තාරුණ්‍යය තුල සැඟවුණු කලාකරුවන්ට රඟන්නට වයන්නට ගයන්නට අපූර්ව වේදිකාවක් සපයමින් 2018 පෙබරවාරි මස 15 වන දින සවස 4.30 සිට “රීඩ් හැන්දෑව 2018” විද්‍යාජෝති මහාචාර්ය වී කේ සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී එළි දැක්විණි. සරසවි තාරුණ්‍යයේ ආදරණීය හිත්වලට ආලෝකයක් ගෙනා රීඩ් මාවතේ ගෙවුණු ඒ සොඳුරු හැන්දෑව හා UCSC ආචාර්ය මණ්ඩලය, වසර හතරක ශිෂ්‍ය සහෝදරත්වය මෙන්ම UCSC උපාධිධාරීන් ද අත්වැල් බැඳගන්නා අයුරු දක්නට ලැබිණි.

මෑතකදී විවෘත කරන ලැබූ UCSC නව ගොඩනැගිල්ලේ විද්‍යාජෝති මහාචාර්ය වී කේ සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේ පැවැත්වූ ප්‍රථම ප්‍රසංගය ලෙස මෙය එක්වෙයි. මෙවන් පහසුකම් සපිරි අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක UCSC සිසුන්ගේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස රීඩ් හැන්දෑව සාර්ථක ලෙස පැවැත්වීමට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ  නන්දසාර මහතා ලබාදුන් සහය අගනේය. පරිගණක හමුවේ පොරබදනා විද්‍යාර්ථීන් මෙදින ගායනයෙන් රංගනයෙන් වාදනයෙන් කරලිය හැඩ කරන අපූරුව විශ්වවිද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය වුවද නැරඹුවේ ඉමහත් සතුටිනි.

දේශීය සංගීත භාණ්ඩ මෙන්ම විදේශීය සංගීත භාණ්ඩද එකතුව විවිධ නාදරටා නිර්මාණය කරමින්, ශ්‍රී ලංකාවේ නවීන පරපුරේ ගීත මෙන්ම අතීතයේ ශ්‍රාවක සිත් පිනවූ ස්වර්ණමය යුගවල ගී ද ගායනා කෙරුණු, බටහිර සංගීතය හා මුසුවූ ගීත ද කරලියට එක් කරලීමට UCSC සොයුරු කැල සමත්විය.

කලාවේ උන්නතිය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කළ අප අසල්වැසි දේශය වන ඉන්දියාවේ විවිධ සංස්කෘතික අංගද එකතු කර ගනිමින් නර්ථනාංග හා ගීත ඉදිරිපත් කිරීමද කැපී පෙණුණි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය විදහා පාමින් උඩරට,පහතරට හා සබරගමු නර්තන ශෛලීන්ගෙන්ද සපිරි නර්තනාංගවලින්ද රීඩ් හැන්දෑව වර්ණ ගැන්විණි.
විවිධ භාෂාවන් විවිධ සංස්කෘතීන් ඔස්සේ දිවවූ ඒ කලා කුසලතා එළි දැක්වීම දුටුවන් නෙත් පිනවූ, අසන්නන් සවන් පිනවූ හැන්දෑවකි. කාර්‍යබහුල ලෝකයක එකිනෙකා පසුපස හැල්මේ දුවනා වර්තමානයක සිරවී සිටින අප හට මෙවන් වින්දනීය කාර්‍යයන් තුළින් නිදහස,ආදරය, සෙනෙහස, සාහිත්‍යය,කලාව අගය කිරීමට පමණක් නොව ඒවා ජීවිතයට ඇතුලත් කරගැනීමට ද මහඟු සහයකි.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2018/02/%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%91%e0%b7%80-2018-2/
Twitter20
Share20
1 vote