මුහුණු පොත (Facebook)

 

12

Facebook යනු ලෝකයේ පවතින සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩාත්ම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියයි. අද වන විට ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් බහුතරයකට Facebook ගිණුම් පවතී. නමුත් සැබවින්ම මෙම ලිපිය මඟින් අවදානය යොමු වන්නේ Facebook හි වර්තමාන තත්වය පිලිබඳව නොව එහි ආරම්භය හා විකාශනය පිලිබඳවයි. 2004 පෙබරවාරි 04 Facebook මුල් වරට සයිබර් අවකාශයට මුදාහරිනු ලැබුනු අතර එය නිර්මාණය කිරීමේ ගෞරවය එවකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) හා ඔහුගේ මිත්‍රයෙකු වන එඩුවාඩො සැවෙරින් (Eduardo Saverin) හට හිමි වේ. සැබවින්ම Facebook සංකල්පය සකර්බර්ග්ගේ නිර්මාණයක් වූ අතර සැවරින් දායක වූයේ මූල්‍යමය අතිනි. මුල් කාලයේදී මෙම නව සමාජ ජාල වෙබ් අඩවියේ සමාජිකත්වය හිමිවූයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් හට පමනි. පසුව එය ක්‍රමයෙන් ඇමෙරිකාවේ හා කැනඩාවේ බොහෝ විශ්වවිද්‍යාලවලටද ව්‍යාප්ත විය. 2006 සැප්තැම්බර් වන විට Facebook වයස අවුරුදු 13ට වැඩි හා වලංගු email ලිපිනයක් හිමි ඕනෑම අයෙක් සඳහා විවෘත විය.

Facemash

Facemash, Facebookහි පූර්වකය සලකන අතර එය 2003 ඔක්තෝබර් 28 දින සකර්බර්ග් හාවර්ඩ් ශිෂ්‍යයකු ලෙස සිටින අවධියේ ඔහුගේ නේවාසිකාගාරයේ මිතුරන් වන ඇන්ඩෘ මැක්කොලම් (Andrew McCollum), ක්‍රිස් හියුස් (Chris Hughes) හා ඩස්ටින් මොස්කොවිට්ස්ගේ (Dustin Moskovitz) සහය ඇතිව නිර්මාණය කර ඇත. Facemash වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන්ට වරකට හාවර්ඩ් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ ඡායාරූප ලබාදෙනු ලැබූ අතර ඔවුන් ඒ අතුරින් වඩාත්ම සරාගී කවුරුන්දැයි දැක්විය යුතු වේ. මේ සඳහා සකර්බර්ග් ශිෂ්‍යාවන්ගේ ඡායාරූප ලබාගත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් ඇතුලුවීමෙන් යැයි කියවේ.

Facemash වෙබ් අඩවිය විවෘත කල දින රාත්‍රියේ සකර්බර්ග් තම පෞද්ගලික බ්ලොග් අඩවියේ පහත දැක්වෙන පරිදි තම නව වෙබ් අඩවිය පිලිබඳ අදහස් දක්වා ඇත.

“I’m a little intoxicated, not gonna lie. So what if it’s not even 10 pm and it’s a Tuesday night? What? The Kirkland dormitory facebook is open on my desktop and some of these people have pretty horrendiedous facebook pics. I almost want to put some of these faces next to pictures of some farm animals and have people vote on which is more attractive.”

— 2:49 pm

“Yea, it’s on. I’m not exactly sure how the farm animals are going to fit into this whole thing (you can’t really ever be sure with farm animals…), but I like the idea of comparing two people together.”

— 11:10 am

“Let the hacking begin.”

— 2:57 pm

මෙම නව වෙබ් අඩවිය ඉතා වේගයෙන් ජනප්‍රිය වූ අතර හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුල අන්තර්ජාල තදබදයක් නිර්මාණය කිරීමට තරම් එම ජනප්‍රියතාවය ප්‍රබල විය. කෙසේ වෙතත් වෙබ් අඩවිය ආරම්භ කර දින කිහිපයකින් එය වසා දැමීමට හාවර්ඩ් බලධාරීන් තීරණය කරන ලදි. එසේම Facemash නිර්මාණය කිරීම නිසා සකර්බර්ග්ට විරුද්ධව කර්තෘ අයිතිය උල්ලංඝනය කිරීම, අනවසර ඇතුලුවීම් හා සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමට කටයුතු කිරීම යනාදී චෝදනා එල්ලවූ අතර එම චෝදනා ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපීමට තරම් ප්‍රබල විය. කෙසේ වෙතත් පසුව එම සියලු චෝදනාවලින් සකර්බර්ග් නිදහස් විය.

පසුව සකර්බර්ග් ඔහුගේ මෙම මූලික ව්‍යාපෘතිය වැඩිදියුණු කර අන්තර්ජාල පාදක ස්වයං ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කරන ලදි. මෙහිදී ඔහු අධ්‍යන කටයුතුවලට අදාල ඡායාරූප සිය වෙබ් අඩවියේ පලකළ අතර එම ඡායාරූප භාවිතා කරන්නන් හට සිය අදහස් දැක්වීමට වෙනම තීරුවක් ද එම එක් එක් ඡායාරූපය පසෙකින් දක්වා තිබී ඇත. එය එවකට නව ප්‍රවනතාවක් වූ අතර මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන්නන් සිය අදහස් හා තමන් සතු සටහන් මේ හරහා හුවමාරු කරගැනීමට යොමුවී ඇත. අද වන විට Facebook හි ඇති Comment පහසුකමට මූලික වී ඇත්තේ මෙම සංකල්පයයි. එසේම මෙම වෙබ් අඩවිය එම වර්ෂයේ හොදම ව්‍යාපෘතිය ලෙස ද තේරී පත්වී ඇත.

තම නව වෙබ් අඩවිය පිලිබඳ සකර්බර්ග් “TechCrunch” සම්මුඛ සාකච්ඡාවකදී පහත පරිදි අදහස්  දක්වා තිබේ.

“The professor said it had the best grades of any final he’d ever given. This was my first social hack. With Facebook, I wanted to make something that would make Harvard more open,”

2010 ඔක්තෝබර් 25 වන දින ව්‍යවසායකයකු හා බැංකුකරුවකු වන රාහුල් ජෙයින් (Rahul Jain) විසින් facemash.com යන ඩොමේන් නාමය ඇමරිකානු ඩොලර් 30,201 ක් වන මුදලකට අඥාත ගැණුම්කරුවෙකුට වෙන්දේසි කර ඇත.

 

Thefacebook.com

 

13

2004 ජනවාරි මාසයේදී මාර්ක් සකර්බර්ග් Thefacebook නමින් තවත් වෙබ් අඩවියක් ක්‍රමලේඛණය කිරීම ආරම්භ කල අතර Facemash සංකල්පය ඊට පාදක වූ බව ඔහු The Harvard Crimson නම් සඟරාවට ලියූ ලිපියක දක්වා ඇත.

“It is clear that the technology needed to create a centralized Website is readily available … the benefits are many.”

2004 පෙබරවාරි 4 වන දින සකර්බර්ග් Thefacebook වෙබ් අඩවිය thefacebook.com ඩොමේන් නාමය යටතේ නිකුත් කල අතර Thefacebook සංකල්පයෙන් ඔහුට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයේ සිසුන් එකිනෙකාට සම්බන්ධ කරන විශ්වීය වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටයි. මාර්ක් සමඟ මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමට දායක වූ ඔහුගේ මිත්‍රයෙකු වූ ඩස්ටින් මොස්කොවිට්ස් (Dustin Moskovitz) පවසන අන්දමට වෙබ් අඩවිය සයිබර් අවකාශයට නිකුත් කර පළමු පැය 24 තුල 1200ත් 1500ත් අතර පිරිසක් Thefacebook වෙත ලියාපදිංචි වී ඇත. මෙම නව වෙබ් අඩවිය නිකුත් කර දින 6ක් පමණක් ගතව තිබියදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වන කැමරන් වින්කල්වොස් (Cameron Winklevoss), ටයිලර් වින්කල්වොස් (Tyler Winklevoss) හා දිව්‍යා නරේන්ද්‍ර (Divya Narendra) තමා HarvardConnection.com නමින් ඉදිරිපත් කර තිබූ සංකල්පය සකර්බර්ග් විසින් සොරකම් කර ඇති බවට චෝදනා කල අතර බුද්ධිමය දේපල සොරකම් කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමටද කටයුතු කළෝ ය.

ආරම්භයේදී Thefacebook හි සාමාජිකත්වය හාවර්ඩ් සිසුන්ට පමණක් සීමා විය. වෙබ් අඩවිය නිකුත් කර මාසයක් ඇතුලත හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන්ගෙන් අඩකට වඩා Thefacebook හි ලියාපදිංචි වී තිබුනි. 2004 මාර්තු වන විට Thefacebook ස්ටැන්ෆර්ඩ්, කොලොම්බියා සහ යේල් විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත කරන ලදි. මෙම ව්‍යාප්ත වීම තවදුරටත් ප්‍රදේශයේ පාසල් දක්වාද වර්ධනය වූ අතර ක්‍රමයෙන් ඇමරිකාවේ හා කැනඩාවේ සියළුම විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත විය. 2004 ගිම්හානයේදී Napster වෙබ් අඩවියේ නිර්මාතෘ හා ව්‍යවසායකයකු වන ශෝන් පාකර් (Sean Parker) සමාගමේ සභාපති ලෙස Thefacebook සමඟ එක් වන අතර ඔහු ඊට පෙර සිටම සකර්බර්ග් හට නිල නොලත් අයුරින් උපදෙස් ලබාදී ඇති බව පැවසේ. එසේම 2004 ජූනි මස 04 වන දින Thefacebook සිය ප්‍රධාන කාර්යාලය කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ (Palo Alto) වෙත ගෙන යන ලදි. 2005 වර්ෂයේදී සමාගමේ නම Facebook ලෙස වෙනස් කරන ලද අතර එය ශෝන් පාකර්ගේ අදහසක් බව කියවේ. එහිදී ඒ සඳහා වන ඩොමේන් නාමය වන facebook.com මිළදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලකට ය.

Facebook

2005 ඔක්තෝබර් 1දා වන විට Facebook මහා බ්‍රිතානයේ හා ලෝකයේ තවත් රටවල් කිහිපයක විශ්වවිද්‍යාල 21ක් දක්වා ව්‍යාප්ත කිරීමට සමාගම සමත් විය. 2005 සැප්තැම්බර් මාසයේදී Facebook උසස් පාසල් සඳහා වෙනම සංස්කරණයක් ඉදිරිපත් කළ අතර සකර්බර්ග් පවසන පරිදි එය Facebook හි ඊළඟ තාර්කික හැරවුම් ලක්ෂයයි. තවදුරටත් ඔහු තම වෙබ් අඩවිය ලෝක ප්‍රසිද්ධ සමාගම් වන මයික්‍රොසොෆ්ට් හා ඇපල් යන සමාගම්වල සේවකයින් සඳහා ද විවෘත කළේ ය. 2005 දෙසැම්බර් 11 වන දින Facebook ජාලය ඕස්ටේලියාවේ හා නවසීලන්තයේ විශ්වවිද්‍යාල සඳහාද විවෘත කළ අතර ඒත් සමඟම Facebook සමාගම ඇමරිකාවේ, කැනඩාවේ, මෙක්සිකෝවේ, එක්සත් රාජධානියේ, ඕස්ටේලියාවේ, නවසීලන්තයේ හා අයර්ලන්තයේ 2000+ විශ්වවිද්‍යාල ප්‍රමාණයක්, 25000+ උසස් පාසල් ප්‍රමාණයක් දක්වා විහිදුනු දැවැන්ත ජාලයක් බවට පත්විය. 2006 සැප්තැම්බර් 26 වන දින Facebook වයස අවුරුදු 13ට වැඩි හා වලංගු ඊමේල් ලිපිනයක් හිමි ඕනෑම අයෙක් සඳහා විවෘත විය.

2007 අග භාගය වන විට Facebookහි 100,000කට අධික ව්‍යාපාරික අරමුණු ඇති ගිණුම් පැවති අතර එය එවකට නව ප්‍රවණතාවයක් විය. 2008 ඔක්තෝබර් මාසයේදී Facebook සමාගම සිය අන්තර්ජාතික මූලස්ථානය අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පිහිටුවන ලදි. 2010 වර්ෂයේ Facebook සමාගම තම නිපැයුම් අත්හදා බැලීමට සිය වෙබ් අඩවියේ පරිශීලකයින් යොදාගැනීම ආරම්භ කළේ ය. වර්තමානය වන විට Facebook සමාගම සිය Facebook සමාජ ජාල වෙබ් අඩවියට අමතරව තවත් නිපැයුම් රැසක් එලිදක්වා ඇති අතර Messenger, Instagram යනාදී බොහෝ ජනප්‍රිය නිර්මාණ Facebook සමාගමේ නිෂ්පාදනයන් ය.

Facebook සමාජ ජාල වෙබ් අඩවියේ වර්තමාන තත්වය හා පියවරෙන් පියවර එය වර්ධනය වූ ආකාරය පහත වගුවේ සංක්ෂිප්තව දක්වා ඇත.

14

අවසාන වශයෙන් කරුණු දැක්වීමේදී මෙම ලිපිය මඟින් අවධානය යොමු කර ඇත්තේ ලෝකයේ මෑත ඉතිහාසයේදී බිහිවූ වඩාත්ම දාර්ශනික හා ලෝකයට වඩාත්ම බලපෑමක් ඇතිකල සංල්කල්පය පිළිබඳවයි.

~~විකිපීඩියා සහ The Social Network චිත්‍රපටිය ඇසුරින්~~

Article By Lahiru Epa.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2016/03/%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad-facebook/
Twitter20
Share20
2 votes