කලකදි වහ කලකදි රහ වෙනවාලු

දේශපාලනය තුළ සදාකාලික මිතුරන් ද නැත සදාකාලික සතුරන්ද නැත යන්න ප්‍රකට කියමනකි. මෙම කියමන යළිත් වතාවක් සනාථ කරන සිදුවීමක් පසුගියදා සිදු විය. දශක ගණනාවක් තිස්සේ පසමිතුරු රාජ්‍යයන් ලෙසින් සැලකෙන ඇමරිකාව හා කියුබාව අතර යළිත් මිත්‍රත්වයේ දෑත් දිගු වී, වසර 88 කට පසු ඇමරිකානු

ජනාධිපතිවරයෙක් කියුබාවේ සංචාරයක නිරත වීම එම සුවිශේෂී සිදුවීමයි. ඔබාමාගේ මෙම නිල සංචාරය මේ සියවසේ සිදු වූ විරල ගණයේ සිදුවීමක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනා ගත්තේය. ජනාධිපති බැරැක් ඔබාමාට පෙර අවසන් වරට ඇමරිකානු ජනපතිවරයෙක් ලෙස අවසන් වරට කියුබාවට පා තබා තිබුණේ හිටපු ජනාධිපති සැමුවෙල් කුල්රිජ් ය. භූගෝලිය වශයෙන් ඇමරිකාවේ මියාමි වෙරළ තීරයේ සිට කියුබාවට ඇත්තේ සැතපුම් 90 ක් තරම් කුඩා දුර ප්‍රමාණයකි. එසේ බැලූ කල මේ දෙරට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසල්වැසියන් වේ. සමාජවාදී රාජ්‍යයකට දැනට මිහිපිට ඇති එකම හා හොඳම උදාහරණය ලෙසින් හුදෙක්ම අර්ථ දැක්විය හැකි කියුබාවට ඇමරිකාව සිදු කළ සතුරුකම් නම් මෙතෙකැයි කියා ගණනය කොට නිම කළ නොහැක.

a1

මොවුනොවුන් අතර දේශපාලන ඉතිහාසය 1898 තරම් ඈතට දිව යයි. 1898 වන තෙක් කියුබාව පැවතුණේ ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙසය. නමුත් ස්පාඤ්ඤය හා ඇමරිකාව අතර ඇති වූ යුද්ධයෙන් අනතුරුව ඉන් ජයගත් ඇමරිකාව කියුබාවේ අයිතිය තහවුරු කර ගත්තේය. පසුව ඔවුන් සිය සුපුරුදු ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පිළි කියුබාවට ද පළන්දන ලදි. නමුත් එදා සිට අද දක්වාම ලෝකයේ කොතැනත් සිදු කරන පරිද්දෙන් එම සළු පිළි උනා දැමිය හැකි නූල් පොට සියතෙහිම රඳවා තබා ගැනීමට තරම් ඔවුහු සූක්ෂම වූහ. කියුබානු දේශපාලනය, විදේශ ප්‍රතිපත්තිය ආර්ථිකය ඇතුළු සියලුම අංගයන් පාලනය වූයේ ඇමරිකානු ඕනෑඑපාකම් අනුවය. 1902දී කියුබාවේ පළමු ජනාධිපතිවරයා ලෙස ජෝසප් එස්ට්‍රාඩා පැල්මා මහජන ඡන්දයෙන් තෙරී පත් වෙයි. ඔහුගේ පටන් ඇමරිකානු ගැති පාලකයන් කිහිප දෙනෙක් යටතේ කියුබාව පාලනය වෙයි. එකල කියුබානු ආර්ථිකය සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කළේ යුනයිටඩ් ෆෘට් කම්පැනි වැනි ඇමරිකානු සමාගම්ය. කියුබානු ජනතාවගේ ආර්ථිකයට මහත් ලෙස දායක වූ සීනි, පළතුරු, කෝපි වැනි බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන වල සාරය උරා ගත් මෙම සමාගම් රටවැසියන්ට ඉතුරු කළේ ආර්ථිකයේ ඔවුන් හප කර දැමූ රොඩු කොටස පමණි. කොටින්ම කියුබාව පාලනය කළේ මෙම සමාගම්ය. ඇමරිකානු රූකඩ බවට පත් වූ කියුබානු ජනාධිපතිවරුන් මෙම සූරා කෑම දෙස නිර්ලජ්ජිතව බල සිටියා පමණි. නමුත් ජෙරාඩෝ මචාඩෝ ජනධිපතිතුමා ඇමරිකානු ආධිපත්‍යයෙන් සිය මව්බිම මුදවා ගැනීමට බොහෝ උත්සාහ කළේය. ඇමරිකානු සමාගම් වලට අධික බදු පැණවූයේය.

a4

 

 

මෙය වොෂින්ටන් පාලනය කිසිසේත්ම රිස්සුවේ නැත. ප්‍රතිඵලය වූයේ අනෙකුත් බොහෝ ලතින් ඇමරිකානු රටවල සිදු වූ ලෙසම හමුදා කුමන්ත්‍රණයක් මගින් සාජන්වරයෙකු වූ ෆුලජෙන්සියෝ බැටිස්ටා රටේ පාලන බලය පැහැර ගැනීමයි. එය ඇමරිකානු ආශිර්වාදය මත සිදු වූවක් බව ප්‍රසිද්ධ රහසකි. ඔහු යටතේ සිය සූරා කෑම කිසිම බාධාවකින් තොරව යළිත් සිදු කර ගෙන යාමට සමාගම් වලට හැකි විය. බැටිස්ටා කියුබාව පාලනය කළ දශක දෙකක පමණ කාලය කියුබානු වැසියන් අත් විඳි දුක්ඛිතම කාල පරිච්ඡේදය බවට පත් විය. ඔවුන් විඳි දුක් ගැහැට හා පීඩනය පිට වූයේ ලෝක ඉතිහාසයට අමරණීය සැමරුමක් එකතු කරමිනි. චේ ගුවෙරා, ෆිදෙල් කැස්ත්‍රෝ, රාවුල් කැස්ත්‍රෝ වැනි ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම හා ආදර්ශමත්ම විමුක්තිකාමීන් සමඟ අත්වැල් බැඳ ගත් කියුබානුවෝ ආයුධ සන්නද්ධ අරගලයකින් බැටිස්ටා පාලනය මුලිනුපුටා දැමූහ. ලෝකයේ ආදර්ශමත්ම සමාජවාදී රාජ්‍යය ගොඩනැගෙන්නේ ඉන් අනතුරුවය. සියලු ඇමරිකානු සමාගම් ජනසතු කිරීමට කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ ක්‍රියා කිරීමත් සමඟ ඇමරිකානුවන්ට යන එන මං නැති විය. කියුබා-ඇමරිකා නයි මුගටි වෛරය ඇරඹෙන්නේ මෙතැන් සිටයි. ඇමරිකාව හා ඔවුන්ගේ මිතුරු බටහිර රටවල් තෙරක් නොපෙනෙන ආර්ථික සම්බාධක කියුබාවට පැන වූයේය.

එම සම්බාධක මධ්‍යයේ, ෆිදෙල් කැස්ත්‍රෝගේ නොසැලෙන නායකත්වය යටතේ රටක් වශයෙන් ඔවුන් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. ඇමරිකාවේ හෝ යුරෝපීය රටවල මෙන් අහස සූරන ගොඩනැගිලි ඉදි වී ඇස් නිලංකාර වන මට්ටමේ සංවර්ධනයක් සිදුව නැතත්, කියුබානුවෝ කිසිවකුටත් අත නොපා අදටත් ජීවත් වෙති. සුපිරි මට්ටමේ සෞඛ්‍ය සේවයක් පවතින එරට ආයු අපේක්ෂාව වසර 78 තරම් ඉහල අගයක් ගනී. සාහිත්‍ය,තාක්ෂණික හා ක්‍රීඩා ක්ෂේත්‍ර වලින් ද ලෝකය ජය ගත් කියුබානුවන් සංඛ්‍යාව අති මහත්ය. මේ අතරතුර, කියුබානු හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙක් වන ෆේබියන් එස්කැලැන්ටේ පවසන පරිදි කැස්ත්‍රෝ ඝාතනය කිරීමට ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය අවස්ථා 638 කදී උත්සාහ දරා ඇත. එහෙත් කියුබාවේ වාසනාවට ඒවා අසාර්ථක උත්සාහයන්ම විය. 2006 දී අහයපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනපති ෆිදෙල් විශ්‍රාම ගත්තේ රටේ පාලනය සිය සොහොයුරු රාවුල් කැස්ත්‍රෝට බාර කරමිනි. ඔබාමාගේ සංචාරය සිදුවන්නේ මේ සියලු සන්දර්භයන් අතරතුරය. 1970 දි ඇමරිකානු හිටපු ජනාධිපති රිචඩ් නික්සන් කියුබා-ඇමරිකා සම්බන්ධතා තර කිරීමට වෙහෙසුණ ද ඔහු ඔබාමා මෙන් සාර්ථක වූයේ නැත. හැරත් එම යුගය ඇමරිකාව හා සෝවියට් දේශය සීතල යුද්ධයක පැටලී සිටි සමයයි. සෝවියට් දේශයට අතිශයින්ම පක්ෂපාතී වූ කියුබාවෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

a3

ඔබාමාගේ සංචාරය ද එක්වරම සිදු වූවක් නොවේ. එය බොහෝ කැප කිරීම් වල ප්‍රතිඵලයකි. ඔහු හා රාවුල්කැස්ත්‍රෝ පළමු වරට ද්වී පාර්ශ්වික සබඳතා ගොඩනඟා ගැනීම වෙනුවෙන්  සාකච්ඡා කළේ නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවය අතරතුරදීය. ඒ 2013 දෙසැම්බර් මාසයේදීය. ඉන් පසු රාජ්‍ය නායක සමුළු කිහිපයක් අතරතුරදී ඔවුහු ඉතා සුහදව සාකච්ඡා කළහ. මේ වෙනුවෙන් ප්‍රැන්සිස් පාප්තුමා ද තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් ඉටු කළේය. කියුබාව හා ඇමරිකාව සමඟි වීම බොහෝ කලකට පෙර විය යුත්තක්ව තිබුණු බව එතුමා විශ්වාස කළේය. 2014 වන විට වසර ගණනාවකට පසු වොෂිංටන් හා හවානා අතර තානාපති සබඳතා ද ආරම්භ විය. ඒ වෙනුවෙන් ඇමරිකානු විදේශ ලේකම් ජෝන් කෙරී මූලිකත්වය ගත් අතර ඔහු පසුගිය වසරේ කියුබාවේ සිදු කළ සංචාරය වසර ගණනාවකට පසු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු කියුබාවට පැමිණි අවස්ථාව ලෙස ඉතිහාස ගත විය. පළුදු වූ විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් පසුගිය වසර තුළ ඇමරිකාව පැත්තෙන් සිදු වූ දේ බොහෝය. දෙරට අතර සaජු ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගන්නා ලද අතරම වසර ගණනාවකට පසු ත්‍රස්තවාදයට සහාය දක්වන රටවල ලැයිස්තුවෙන් කියුබාවේ නම ඉවත් කිරීමට ඔබාමා පාලනය කටයුතු කළේය. ආර්ථික සම්බාධක ද යම් පමණකට ලිහිල් කළේය. මෙම නිල සංචාරය අතරතුරදී ඔබාමා ෆිදෙල් කැස්ත්‍රෝ හමුවන බවට නම් එතරම් පැහැදිලි වාර්තා නොමැත. නමුත් ජනපති රාවුල් කැස්ත්‍රෝ සමඟ සාකච්ඡාවේදී කියුබාවට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් කරන බවට ඔහු පොරොන්දු වුණේය. එමෙන්ම ඒ සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වෙනුවෙන් කියුබාව සිදු කළ යුතු දේ ද ඔහු මතක් කළේය. ඒ ඇමරිකාව කලක පටන් පවසන කියුබාවේ මානව හිමිකම් ප්‍රශ්නය වෙනුවෙන් ඔවුන් වඩාත් උවමනාවෙන් ක්‍රියා කළ යුතු බවයි. එමෙන්ම කියුබානු භූමියේ ඇමරිකාව පවත්වා ගෙන යන ග්වන්තනාමෝ බේ සිර කඳවුර වසා දමන ලෙස රාවුල් කැස්ත්‍රෝ ඉල්ලා සිටියේය. ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් වන දරුණු ගණයේ  ත්‍රස්තවාදීන් රඳවා සිටින මෙය මිහිපිට අපායක් ලෙස ප්‍රකටය. මානව හිමිකම් සංවිධාන මීට එරෙහිව බොහෝ කලක සිට හඬ නගන අතර ඊටත් වඩා එය කියුබාවේ අභිමානයට තර්ජනයකි.

මෙම ලෝකය තුළ දීමකින් තොරව ලබා ගැනීමක් නොමැත. වර්තමානයේ සියල්ලම ගනුදෙනුවකි. ඇමරිකාව ලෝකයේ අනෙකුත් රටවල සිදු කළ මානව හිමිකම් කඩකිරීම් වෙනම කතාවකි. ඒවා කතා කිරීම පවා ජුගුප්සාජනකය. නමුත් ඇමරිකාව කියා යමක් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසාය. ඔවුන්ගේ රටවැසියන් තරම් නිදහස භුක්ති විඳින වෙනත් පිරිසක් මෙලොව නැත. සිය රටවැසියන්ට හා ලෝකයාට පෙනෙන්නට හෝ ඇමරිකාවට අවශ්‍ය තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වන බව පෙන්වන්නටය.අනෙක් අතට අතීතයේදී මෙන්, ඇමරිකානු ෆැන්ටසි කතාවල සිටින වැම්පයරයෙකු පරිද්දෙන් කියුබානු සාරය උරා බීමට ඇමරිකාව ක්‍රියා නොකරනු ඇතැයි විශ්වාස කළ හැකිය. මන්ද ඔවුන් ඉන් හොඳින් මට්ටු වී ඇති නිසාවෙනි. මේ දෙරටම එකිනෙකා පහසුවෙන් රැවටිය නොහැකි අයුරින් තෙම්පරාදු වූ රටවල් දෙකකි. මෙම සරල යතාර්ථයන් දෙරටම හොඳින් තේරුම් ගනී නම් ඔබ අප ඉදිරියේ වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය වන බව නොඅනුමානය.

(BBC ඇසුරිණි)

 

අයෝධ්‍ය කරුණානායක

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2016/03/%e0%b6%9a%e0%b6%bd%e0%b6%9a%e0%b6%af%e0%b7%92-%e0%b7%80%e0%b7%84-%e0%b6%9a%e0%b6%bd%e0%b6%9a%e0%b6%af%e0%b7%92-%e0%b6%bb%e0%b7%84-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%bd%e0%b7%94/
Twitter20
Share20
2 votes