• Home »
  • News & Events »
  • සාර්ථකව අවසන් වූ ” සසල දියේ රුව සොයා The Launching Ceremony”

සාර්ථකව අවසන් වූ ” සසල දියේ රුව සොයා The Launching Ceremony”

අති සාර්ථක හෘදයාංගම සැඳෑවක් සමගින් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ  13වන කණ්ඩායමේ සහෝදර ධනුෂ්ක සංජය විසින් රචිත “සසල දියේ රුව සොයා” කෘතිය දොරට වැඩුමේ උත්සවය පසුගිය පෙබරවාරි 21 වනදා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදි “සසල දියේ රුව සොයා The Launching Ceremony” ලෙසින් උත්කර්ෂවත්ව පැවැත්විණි.

විශේෂිත ආරාධිත අමුත්තන්, අධ්‍යයනායතනයේ ආචාර්ය මඬුල්ල, අම්බලන්ගොඩ පි. ද එස් කුලරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මහත්ම මහත්මීන් සහ සිසු සිසුවියන් මෙන්ම මාධ්‍ය විද්‍යාල සිසු සිසුවියන්, ධනුෂ්ක සොහොයුරාගේ දෙමාපියන් නෑදෑ පිරිස සහ සිය පාසලේ මෙන්ම පාසලේ නොවන මිතුරු මිතුරියන්, සිය මාධ්‍ය සගයින් හා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සහෝදර පවුරේ සහභාගින්වයෙන් පැවති මෙම උත්සවයට පැමිණ සිටි සැමගේ නොමද ආශිර්වාදය හිමිවිය.

ධනුෂ්ක සංජය සොයුරා විසින් කුළුදුලේ රචිත “සසල දියේ රුව සොයා” ග්‍රන්ථය සිය දෙමාපියන්ට පිළිගන්වන අවස්ථාවේදී මෑණියන්ගේ දෑසින් වැටුනු සතුටු කඳුලු පසක් කලේ ඔහු කෙරෙහි මවගේ හදවතේ වූ ආදරයයි.
අධ්‍යයනායතනයේ ආචාර්ය මඬුල්ලට, අම්බලන්ගොඩ පි. ද. එස් කුලරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාට, එම විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් නියෝජනය කරමින් එක් ගුරුමෑණියකට සහ සිසු සිසුවියන් නියෝජනය කරමින් එක් සහෝදර පාසල් සිසුවෙකුට මෙන්ම මාධ්‍ය විද්‍යාල සිසු සිසුවියන් නියෝජනය කරමින්පැ මිණි එක් සහෝදරයෙකුටත් ධනුෂ්ක සොහොයුරාගේ දෙමාපියන් නෑදෑ පිරිස වෙනුවෙන් ඔහුගේ මුත්තනුවන්ටත් සහ සිය පාසලේ මෙන්ම පාසලේ නොවන මිතුරු මිතුරියන් වෙනුවෙන් එක් සහෝදරයෙකුටත් සිය මාධ්‍ය සගයින් නියෝජනය කරමින් පැමිණ සිටි සහෝදර මාධ්‍ය සගයින් කිහිප දෙනෙකුට හා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සහෝදර පවුර වෙනුවෙන් ජ්‍යේෂ්ඨ සහෝදරත්වයට හා උත්සවය සංවිධානය කරනු වස් නිබඳ ළඟ රැඳි කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ 13වන හා 14වන කණ්ඩායම් හි සහෝදර පවුර වෙනුවෙනුත් ධනුෂ්ක සොයුරා සිය කුළුදුල් ග්‍රන්ථය “සසල දියේ රුව සොයා” පිළිගැන්වීය. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ කේ.පී. හේවාගමගේ මහතා හා අම්බලන්ගොඩ පි. ද. එස් කුලරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් එහිදී දේශනයන් පැවැත්වූයේ ධනුෂ්ක සොයුරාව අගය කරමිනි. තවද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවා පරිපාලන නිලධාරී චූලානන්ද පෙරේරා මහතාද, ආශා එදිරිසිංහ  කලා ශිල්පිනිය සහ උසස් පෙළ ගණිත ආචාර්ය ජනක අබේවර්ධන මහතාද ආරාධිතයින් ලෙස උත්සවයට එක් වූ අතර ඔවුන් හට ද ග්‍රන්ථ පිළිගැන්වීම සිදුකෙරුනා. එමෙන්ම ආරාධිත දේශනයක් පැවැත්වීමටද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවා පරිපාලන නිලධාරී චූලානන්ද පෙරේරා මහතා හට අවස්ථාව හිමිවූවා. මෙහිදි තවත් එක් විශේෂ සිදුවීමක් සිදුවිය. එනම් ධනුෂ්ක සොයුරා සමගින් මාධ්‍ය ජීවිතයට අත්පොත් තැබූ මාධ්‍ය සගයින් හා ඔහුට මාධ්‍ය ජීවිතයේදි මුණගැසුණු නමුත් මේ වන විට සිරස, දෙරණ, හිරු වැනි විවිධ මාධ්‍ය ජාලා වල සේවය කරන මිතුරු මිතුරියන් විසින් ඔවුන්ගේ සමරු සටහන් තබන ලද ධනුෂ්ක සංජයගේම ග්‍රන්ථයක් ඔහුටම පිළිගැන්වීමයි.

ජාත්‍යන්තර මව් භාෂා දිනය මූලික කරගනිමින් සිදුවූ මෙම කටයුත්ත හා සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ ශිෂ්‍ය සංගමය එහි සිසු සිසුවියන්ගේ සංවිධාන ශක්තියෙන් අපූරු සැමරුම් උපහාර උළෙලක් පැවැත්වූවා. එහිදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට හා අනාගත පරපුර වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටුකළ සොඳුරු ශ්‍රී ලාංකිකයින්ට උපහාර සම්මාන ප්‍රදානය කිරීමක් සිදුකරනු ලැබුවා. ප්‍රවීණ මෙන්ම අග්‍රගණ්‍ය කලාකරුවන් වූ ජයන්ත චන්ද්‍රසිරි මහතා, විශාරද සුනිල් එදිරිසිංහ මහතා වෙනුවෙන් සොඳුරු ශ්‍රී ලාංකිකයා සම්මාන හා නවකතාව පිළිගැන්වූ අතර ධනුෂ්ක සොයුරාගේ මෙම සොඳුරු වෑයම හා තරුණ පරපුරෙන් ලත් සුවිශේෂි සම්මානය අගය කරමින් නූතන තරුණ පරපුර සංවේදි හා නිර්මාණශිලී ආකල්පයන්ගෙන් යුතු ධෛර්යයවන්ත මිනිසුන් පිරිසක් බවට පත් කරනු වස් ඔවුන් ජීවිතය ජයගත් අයුරු බාධක මතින් ගොඩනැගුණු අයුරු වැනි කාරණාවන් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආරාධිත දේශයන්ද පැවැත්වීය. තවත් සොඳුරු ශ්‍රී ලාංකිකයා සම්මාන ද්විත්වයක් රොඩ්නි වර්ණකුල මහතා හා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා වෙනුවෙන් වෙන්වු අතර රොඩ්නි වර්ණකුල මහතා රූගත කිරීම් සඳහා කොළඹින් බැහැරව සිටීමත් තිලකරත්න ඩිල්ෂාන් මහතා හදිසි විදේශ සංචාරයකට සහභාගි වීම නිසාත් ඔවුන් වෙනුවෙන් සම්මාන හා නවකතාව පිළිගැන්වූයේ ඔවුන් නියෝජනය කරමින් පැමිණි රොඩ්නි වර්ණකුල මහතාගේ පුතු ඉරෝන් වර්ණකුල හා තිලකරත්න ඩිල්ෂාන් මහතාට අයත් ඩී පැවිලියන් හෝටලයේ කළමණාකාරතුමා හටයි. හදිසි වැඩ කටයුතු හේතුවෙන් උත්සවයට සහභාගි වීමට නොහැකි වුවද සුභ පැතුම් එක් කිරීමට තරම් ඔවුන් නිහතමානී විය.
තවද සිංහල භාෂාව ලෝකය ඉදිරියේ සම්මත කරගනිමින් යුනිකෝඩ් පිවිසුම නිර්මාණය කරමින් සිදු කළා වූ සුවිශේෂි මෙහෙය අගයමින් සොඳුරු ශ්‍රී ලාංකිකයා සම්මානයක් හා “සසල දියේ රුව සොයා” ග්‍රන්ථය පිළිගැන්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා හටයි. පසුව එතුමා විසින් ජාත්‍යන්තර මව් භාෂා දිනය මූලික කරගනිමින් දේශනයක් පැවැත්විය.

පසුගිය පෙබරවාරි මස 21වනදා එනම් ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ඇස්.ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් දොරට වැඩි “සසල දියේ රුව සොයා” ග්‍රන්ථය සම්බන්ධයෙන් සඳහන් කළ යුතු තවත් එක් වැදගත් කරුණක් හිතවත් සහෘද ධනුෂ්ක කතෘ දේශනයේදි ප්‍රකාශ කලේය. එනම් නවකතාවේ අලෙවියෙන් කතෘවරයාට ලැබෙන ආදායම පිළිකා රෝගයෙන් පෙළෙන අපේම රටේ මිනිසුන් වෙනුවෙන් සහ අඩු ආදායම්ලාභි පවුල්වල සිටින අහිංසක හදවත් රෝගී දරුවන් වෙනුවෙන් වන අරමුදලකට යොමු කිරීමට තීරණය කර තිබෙන බව හා මේ වන විටත් එසේ හඳුනාගත් පවුල් දෙකක දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ආධාර කිරිමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි.
සාර්ථකව අවසන් වූ කල්පිතයක් නොවන යථාර්තයක් ඇසුරින් රචිත “සසල දියේ රුව සොයා” කුළුදුල් නවකතාව දොරට වැඩීමේ උත්සවයෙන් එදින පැමිණ සිටි සියලුදෙනා හට ලබාදුන් පණිවිඩය මුළු මහත් සමාජයටම මහගු ආදර්ශයක්.

ඉදින් සොයුරු ධනුෂ්ක සංජය…. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය වෙනුවෙන් පැහැසර අපගේ සුභ පැතුම්!

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2018/02/%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%9a%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-%e0%b7%83%e0%b7%83%e0%b6%bd-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%9a/
Twitter20
Share20
0 votes