UCSC සර්වරාත්‍රික පිරිත් පිංකම 2017

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ හිටපු අධ්‍යක්ෂක හා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස විරුදාවලිය ලත් විද්‍යාජෝති මහාචාර්ය වී කේ සමරනායක මැතිදුන්ගේ ගුණානුස්මරණය සඳහා අධ්‍යනායතනයේ සිසුන් විසින් වාර්ෂිකව සංවිධානය කරන සර්වරාත්‍රික පිරිත් දේශනය මෙවර 2017 දෙසැම්බර් මස 19 වන දින අධ්‍යනායතන පරිශ්‍රයේදී පැවැත්විණ.

අධ්‍යනායතනයේ ඉගෙනුම ලැබූ මෑතකදී අප අතරින් වෙන්ව ගිය හසංග සෝමරත්න සොයුරාට පිං පැමිණවීමත් මීට කලකට ඉහතදී දිවියෙන් සමුගත් අශිර්වාද පහන් සොයුරාට පුණ්‍යානුමෝදනා කිරීම මෙන්ම ඒ දිනවල අසනීප තත්වයෙන් පසුවූ UCSC හි හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් මෙම සර්වරාත්‍රික පිංකම පැවැත්වීමේදී අරමුණු විය.

පරිගණක අධ්‍යනායතනයේ සිසුන් විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන විශිෂ්ටතම වැඩසටහනක් ලෙස සර්වරාත්‍රික පිරිත් පිංකම හදුන්වාදිය හැක. පුරා මසක කාලයක සිට 14 වන කණ්ඩායමේ සිසු සිසුවියන් විසින් දැරූ පරිශ්‍රමයෙහි ප්‍රතිඵල මල්ඵල ගැන්වීමක් ලෙස පිරිත් පිංකම චමත්කාර ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණි. මකරෙකු දිවවුණු දැවැන්ත තොරණක් සමඟ විදුලි පහන් ආලෝකයෙන් එළිය කරන ලද කූඩු රදවා හා සිසුන් විසින්ම නිර්මාණය කර තිබූ නෙලුම් මල් අතුරා ස්වාමීන් වහන්සේලා වඩින මග සරසා තිබුනේ තුරුණු සිත් සනසාලමිනි.

මෙවර බොරැලේ අතුල දස්සනාරාමාධිපති බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොටගත් ස්වාමීන් වහන්සේලා දොළොස් නමක් වැඩම කරවමින් පැවැත්වූ පිරිත් දේශනය UCSC නව ගොඩනැගිල්ල ඉදිරිපිට රාත්‍රී 9 ට ආරම්භ කර උදෑසන 5.30 දක්වා පැවැත්විනි. Race Course පරිශ්‍රයේ සිට UCSC පරිශ්‍රය දක්වා ස්වාමීන් වහන්සේලා වැඩමවීම සිසුන් විසින් සංවිධානය කර තිබූ සේසත්, කොඩි, තෙල් මල් පහන් රැගත් අලංකාර උඩරට නර්තනයෙන් සැරසුණු පෙරහර මගින් සාදු නාද මැද්දේ සිදුවූයේ නරඹන්නන්ගේ සිත් සතන් පහන් කරමිනි.

රාත්‍රියක් පුරාවට පැවති පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පසුදින උදෑසන වැඩම වූ මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කටයුත්තක්ද සූදානම් කොට තිබුණේ අධ්‍යනායතනයේ ඉගෙනුම ලබන සෑම වසරකම සොයුරු සොයුරියන්ගෙන් පමණක් නොව අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයෙන්ද ලැබුණු නොමඳ සහයෝගයෙනි.

ආගම දහම නොසලකා හරිනා මෙවන් යුගයක පරිගණක තාක්ෂණය හදාරන අනාගතයේ දේශය දිදුළවන්නට සිටිනා සිසු පරපුරක් විසින් මෙවැනි වූ සිත් පහන් දනවන ආධ්‍යාත්මික සුවයක් ලබා දෙන්නා වූ වැඩසටහන් සංවිධානය කිරීම මහත් අගනේය.

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2018/01/ucsc-%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%82/
Twitter20
Share20
0 votes