සරසවි අඹරින් බැසගිය ගුරුතරුව

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මැතිඳුන් 

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය පිළිබඳ විචාරයෙහි යෙදෙන විට එහි වර්තමාන සාර්ථකත්වය දක්වා පැමිණි ගමන්මග මහා වෘක්ෂ බඳුවූ අධ්‍යක්ෂක ධූර හෙබවූ පුද්ගලයන් සිහිවන්නේ නිතැතිනි. එහිලා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් නිලේන්ද්‍ර වික්‍රමනායක මහතා පිළිබඳ අප සිහිපත් කරන්නේ මහත්වූ භක්ත්‍යාදර ගෞරවයෙනි. 2018 ජනවාරි මස 05 දින සුවහසක් ජනයාගේ සෝ සුසුම් මැද අවසන් ගමන්ගිය එතුමා පිළිබඳ තබන සටහනයි මේ.

වර්ෂ 1960 ජනවාරි මස 17 වන දින කොළඹදී මෙලොව එළිය දුටු වික්‍රමනායක මැතිඳුන් සිය මූලික අධ්‍යාපනය ගාල්ල සාන්ත ඇලොසියස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය ඇසුරේ ලැබුවේය. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු ද්විතියීක අධ්‍යාපනය ලෙස 1984 වසරේදී සිය විද්‍යාවේදී උපාධීය (BSc) කොළඹ විශ්ව විද්‍යාලයයෙන් සංඛ්‍යානය හා ගණිතය විෂයයන් ඔස්සේ ප්‍රථම පන්ති ගෞරව උපාධියක් ලෙස ලබමින් අවසන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මැතිඳුන් පරිගණක විද්‍යාව මූලික කරගනිමින් MSc උපාධිය හා PhD මහා බ්‍රිතාන්‍යයේ වේල්ස් විශ්ව විද්‍යාලයේ කාඩිෆ් කොලීජියෙන් සාර්ථකව සම්පූර්ණ කළේය.

සිය අධ්‍යාපනය අවසන් කිරීමත් සමඟ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් ක්‍රමලේඛකයෙකු (trainee programmer) ලෙස සිය සේවාව ආරම්භ කල මෙතුමා සහකාර කථිකාචාර්යවරයෙකු (Assistant Lecturer) බවටද පත්වූයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යාව දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෙකු (researcher) ලෙස සේවය කිරීමෙන්ද අනතුරුවයි. ඉන් අනතුරුව වර්ෂ 1990 දී කථිකාචාර්යවරයෙකු ලෙසටත් වර්ෂ 1996 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බවටත් පත්වීමට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාට හැකියාව ලැබිණ. පසුව 2000 වර්ෂයේදී අලුතෙන් බිහිවූ පරිගණක විද්‍යා අධ්‍යනාංශයට යොමුවූ එතුමා 2002 වසරේදී එහි වැඩබලන ප්‍රධානී තනතුරට පත්විය.

එපමණක් නොව, 2003 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා එතුමා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරය හෙබවූ අතර එහි තොරතුරු පද්ධති ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස 2002 සැප්තැම්බර් මස සිට 2005 සැප්තැම්බර් දක්වා පුරා වසර තුනක් සිය සේවාව ලබා දුන්නේය. එමෙන්ම වික්‍රමනායක මැතිඳුන් 2007 සිට 2008 දක්වා සන්නිවේදන හා මාධ්‍ය තාක්ෂණ අංශයේ වැඩබලන ප්‍රධානී ලෙසද කටයුතු කළේය. University of New Mexico , Stockholm University සහ Umeå University යන විදෙස් විශ්ව විද්‍යාලයන් හි දේශනයන් පවත්වන බාහිර විද්වතෙකු ලෙස සිය සේවාව සැපයූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා 2010 මැයි මස 24 දින සිට 2016 මැයි මස 31 දින දක්වා වසර 6ක් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ අධ්‍යක්ෂක ධූරය හොබවමින් ආයතනයේ දියුණුව උදෙසා මහත්වූ කැපවීමකින් කටයුතු කළ අතර පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වීමටද වරම් ලැබුවේය.

බ්‍රිතාන්‍ය පරිගණක සංසදයේ, ශ්‍රී ලංකා අංශයේ සභාපති ලෙස 2007/08, 2009/10, 2010/11, 2011/12 සහ 2014/15 අධ්‍යයන වර්ෂයන්හි මුලසුන දැරීමට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාට හැකිවිය. එමෙන්ම එතුමා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයට අනුබද්ධ තීක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස 2010 සිට 2016 දක්වා කටයුතු කළ අතර එම කාලයේදීම LEARN හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.
ඔහු Sri Lanka Informatics Olympiad හි 1998 වසරේ සිට සාමාජිකයෙකු වූ අතර IOI training සංවිධානය කිරීම සඳහාද සිය සහභාගිත්වය ලබාදුන් නිහතමානි පුද්ගලයෙකු ලෙස හඳුන්වාදිය හැකිය. එහි ප්‍රතිඵල ලෙස එතුමා 1999 දී තුර්කියේ පැවති IOI training සඳහා නියෝජ්‍ය කණ්ඩායම් නායකයා ලෙස සහභාගි වූ අතර 2001-2007 , 2009-2010, 2014 සහ 2016 කාල වකවානුවලදී කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය. එපමණක් නොව APICTA (Asia Pacific ICT Alliance) හි ශ්‍රී ලංකාව නියෝජනය කරන විනිසුරුවරයකු ලෙස 2003-2007 , 2009-2010 සහ 2016 දී කටයුතු කළ අතර 2015 වසරේ දී එහි ප්‍රධාන විනිසුරු ධූරයද හෙබවීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මැතිඳුන්, තමා විසින් උකහාගන්නා ලද දැනුම ඔස්සේ පරිගණක විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගේ ඉදිරි මග එළිපෙහෙලි කලා පමණක් නොව එතුමා තුළ තිබූ විශිෂ්ට නායකත්ව හැකියාව හේතුවෙන් නායකයෙකු නොව මග පෙන්වන්නෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයට මෙන්ම ශ්‍රී ලංකාවට කළ මෙහෙවර අතිමහත්ය.
සිය බිරිඳට සෙනෙහෙවන්ත ස්වාමිපුරුෂයෙකු හා දරුවන් දෙදෙනෙකුට ආදරණිය පියාණන් වෙමින්, සිසු සිසුවියන්ගේ අනාගතය එළිය කළ ගුරුපියෙකු වෙමින්, සිය නෑදෑ හිතමිතුරන්ට ලබැඳි සහෘදයෙකු වෙමින් පුරා වසර 58ක් දිවිගෙවූ වික්‍රමනායක මැතිඳුන් වසර 2018 සීතල දුරුතු මස පස්වන දා සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේ එතුමාට ආදරය කරන සියලුදෙනාගේ නෙත්වලට කඳුලක් එක් කරමිනි.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2018/01/%e0%b7%83%e0%b6%bb%e0%b7%83%e0%b7%80%e0%b7%92-%e0%b6%85%e0%b6%b9%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b7%83%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94/
Twitter20
Share20
0 votes