ඈත කඳුකර හිමව් අරණේ – පසුබිම.

                                                     ඈත කඳුකර හිමව් අරණේ ගීතය අප රටේ සිටී විශිෂ්ටතම ගේය පද රචකයෙක් වන මහගම සේකරයන් අතින් ලියැවූවක්. අචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ මෙම අපුර්ව ගීතය බොහෝ දෙනාගේ හදවත් තුළ සදා නොමැකෙන ස්ථානයක ලැගුම්ගනු ලැබුවා. මෙම ගීතයේ ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙය අප ගීත කලාවේ පළමු පුරුෂ වර්ණනාත්මක ගීතය වීමයි. අවාසනාවකට මෙන් අද කාලයේ නව පරපුරේ බොහෝ දෙනෙක් මෙම ගීතය අසාවත් නොමැති වන්නට පුලූවන්. මෙය නල-දමයන්ති මුද්‍රා නාට්‍යයේ එන ගීතයක්. නාට්‍ය නොබලපු කෙනෙක්ට වුණත් ගීතයේ සංගීතමය රසයත් සමඟ හොඳින් රස විඳින්නට පුළුවන්. ඒත් මෙහි ඇති සැබෑ රසය විඳගන්නට නම් මෙහි එන කථා වස්තුව ගැන අසා තිබීම ඉතා වැදගත්. මෙය ඉන්දීය සාහිත්‍යයේ ඇති මහා භාරතයේ එන ඉතා අලංකෘත පේ‍්‍රම කථාවක්. නල නම් රාජකුමාරයෙක් සහ දමයන්ති නම් රාජ කුමාරිකාවක් අතර සිදුවූ කථා පුවතක්. ගීතය රස නොවිඳි කෙනෙක් නම් ගීතය අසන්නට පෙර මේ කථාව කියවාම පහත ඇති ගීතය රස විඳින්නට ආරාධනා කරනවා. ගීතය අසා ඇතිමුත් කථාව නොදන්නා අයටද කථාව කියවා නැවත වරක් ගීතය රසවිඳින්නට කියා ආරාධනා කරනවා. එයින් ඔබට මෙතෙක් නොවිඳි වෙනස්ම රසයක් දැනේවි.

                                                        නල කුමරුන් ජීවත්වූයේ භාරතයේ නිශාදය නම් රාජධානියෙයි. ධර්මානුකූලව දිවිගෙවු ඔහු මනා තේජාන්විත, රනින් කළ පිළිරුවක් බඳු රූප සම්පත්තියක් ඇත්තෙකි. එමෙන්ම කතා බස් කරනා විට පවා ඇත්තේ මධුර හඬකි. රූසපුවෙන් හා ගතිපැවතුම්වලින්ද ඔහුට සමකළ හැකි කිසිවෙකුත් එකල භාරතය තුළ නොවීය. දිනක් නල කුමරුන් විවේකය පිණිස රාජකීය උයනේ සිරි නරඹන්නට යනවා. එහිදී ඔහු දකිනවා කිරි පැහැයෙන් බබලන හංස රෑනක් තම උයනට පමිණ සිටිනවා. කුමරුන් එකෙකු අල්ලාගන්නට සැරසෙත්ම අන් සියලූ හංසයින් ඉගිල ගොස් එකෙකු පමණක් නතරවනවා. එ් හංසයා කුමරුන් අතට ගත් විට හංසයා කුමරුන් සමග කතා කරනවා. තමා කුමරුන් දැක අතිශය සතුටු වූ බවත් දින කිහිපයක සිට කුමරුන් ගැන සෙවිල්ලෙන් සිටි වගත් හංසයා පවසනවා. කුමාරයා කාරණාව කුමකදැයි විමසූ විට හංසයා දමයන්ති කුමරිය ගැන සියලූ තොරතුරු පවසනවා. ඇය විධර්බා රාජ්‍යයේ රජුගේ දියණියයි. ඇය මනා රූසපුවකින් හා යහපත් ගති පැවතුම් ඇති කුමරිකාවක්. තමන් කෙදිනක හෝ එවැනි රූපසම්පත්තියක් ඇති යහපත් කුමාරිකාවක් දැක නොමැති බව කුමරුන් හා පවසනවා. එමෙන්ම ඇය දුටු දින ඇයට ගැලපෙන කිසිඳු කුමරෙකු භාරතය තුළ නම් නොවන වග තමා සිතාගත් බවත් හංසයා කුමාරයාට පවසනවා. නමුත් කුමාරයා දුටු දිනම ඔහු නම් ඇය වෙනුවෙන්ම උපන් අයෙකු බව තමාට සිතුණු බවත් ඔබ දෙපළ එකිනෙකා හා විවාහා වූයේ නම් මෙලොව වෙසෙන පේ‍්‍රමණීයම හා සුන්දරම යුවළ වනු ඇති බව හංසයා නල කුමරුන් හා පවසනවා. දමයන්ති කුමරිය ගැන මේ හංසයාගේ මේ වර්ණනාව අසා පැහැදුනු නල කුමරුන්ගේ හිතේ ඇය කෙරෙහි ප‍්‍රභල පේ‍්‍රමයක් ඇතිවෙනවා. කුමාරයා ඇය පිළිබඳ සිතමින් ලතැවෙනවා. ඇය ගැන තම හදේ ඇති වූ සෙනෙහස ගැන මේ හංසයා සමඟ පවසනවා. ඇයව බලාගන්නා අන්දම, ඇයට සලකන අන්දම, සහ දිවි හිමියෙන් ඇය සුරකිනා බව කුමාරයා ඇය නැති දුකින් හංසයා හා පවසනවා. ඇයට දැක ගන්නට, තම හදෙහි ඇය වෙනුවෙන් නැගෙන ආදරය කියාගන්නට නොහැකිව සිටිනා වග ඔහු හංසයාට පවසනවා.

 

                                                                                        හංසයා කුමාරයාගේ මේ බස් අසා සිත තදින් පෑරෙන්නට වුණා. හංසයා ඕනෑතරම් පෙම් කළ එක් වූ කාන්තාවන් හා පිරිමින් දැක ඇත. එහෙත් එ් ඕනෑම යුවලක කුමන හෝ නොගැලපීමක් තිබුණි. එය එසේ විනිද, නල කුමාරයත් දමයන්ති කුමාරිකාවත් එසේ නොවේ. සෑම අතින්ම දෙදෙනා ගැලපෙයි. ඔවුන් දෙදෙනා එක් නොවුනහොත් කිසිදෙනක ඔවුනට ගැලපෙන අයෙකු හා විවාහා වීමට දෙදෙනාගෙන් කවරෙකුට හෝ නොහැකි බැව් හංසයා දනි. ඉවසා ගත නොහැකිව හංසයා ඔබ මා අතහරින්නේ නම් මා දමයන්ති කුමරිය සොයා ඉගිල ගොස් ඔහුගේ පේ‍්‍රමය පිළිබඳ ඇයට පවසන බවට නල කුමරුන්ට පොරොන්දු වෙයි. පසුව හංසයා රෑ වනතුරාම විඩාව නොසලකා දමයන්ති කුමරියගේ මාලිගය සොයා පියඹා යනවා. පෙරදින කුමරුන් හමු වූ විලසින්ම හංසයා කුමරියගේ උයනට ගොස් රැගුම් පාමින් සිටිනවිට කුමරිය හංසයා දැක හංසයාව අල්ලා ගන්නවා. පසුව හංසයා තමන්ට යන්නට නිදහස ලබා දෙන්නේ නම් කුමරියට මහත් වූ ආදරයෙන් පසුවන මේ කුමාරයා ගැන කරුණු කියනා බවට ඇයට පොරොන්දු වනවා. ඇයට මෙලෙස ආලය කරන කුමරුන් කවුරුන්දැයි දැනගැනීමට ඇති ආශාව නිසා ඇය හංසයා අතහරිනවා. පසුව හංසයා තමා ඇය පිළිබඳ කියූදේ අසා නල කුමරුන්ගේ හදේ ඈ කෙරෙහි හටගත් පේ‍්‍රමයත් කියමින් කුමරුන්ගේ වරණනාවක් ඇයට ඉදිරිපත් කරනවා. එම කුමාරයාගේ ශෝබා සම්පන්න බවත් ඔහු හිත කුමරිය කෙරෙහි ඇති වූ පේ‍්‍රමයේ තරම හංසයා කියන විලසින් මහගම සේකරයන් ඈත කඳුකර හිමව් අරණේ ගීතය රචනා කර තිබෙනවා. එම ගීතය පහතින් රස විඳින්න.

  

ගායනය – අචාර්ය පණ්ඩිත් අමරදේව
පද රචනය – මහගම සේකර
සංගීතය – ආචාර්ය ලයනල් අල්ගම

කතෘ:- ධනුෂ්ක සංජය

පරිශීලිත මූලාශ්‍ර ;

මහා භාරතය ,

නල -දමයන්ති මුද්‍රා නාට්‍ය,

නොමියෙමි මහගම සේකර.

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/12/%e0%b6%88%e0%b6%ad-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%80%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b6%b6%e0%b7%92/
Twitter20
Share20
1 vote