අම්මා

මගෙ ලෝකෙට එළිය ගෙනෙන,
රන්වන් හිරු ඔබයි සදා..
සිත් අහසට සෙනෙහෙ බෙදන,
සඳවතියයි දිවිය පුරා..
සිසිල ගෙනෙන නුගරුක වී,
අතුපතරින් සෙවණ සදා..
හැඳිනගත්තෙ අම්මා තමයි,
මගෙ හදවත ගැහෙන රටා..

ඇද වැටෙනා හැමවිටක ම,
ගතට සවිය දෙන්න කියා..
දුක හිතෙනා හැම මොහොතෙම,
සිතට දිරිය දෙන්න කියා..
හිත උතුරන හැම සතුටෙම,
රහස කියාදෙන්න කියා..
ලොව සිටිනා එකම කෙනා,
ඔබ පමණයි මගෙම කියා..

ලේ කිරි කර මට පොවන්න,
ආදරෙ හද නැගුණු හැටී..
දිවි ගමනේ සුව සදන්න,
අපමණ දුක් වින්ද හැටී..
මගෙ හිනාව දකින ඔබේ,
දුක් ගිනිකඳ නිවුණු හැටී..
සිහි කරද්දි මගෙ හදවත,
වෙව්ලා උණු කඳුළු පනී..

දුකක් නොදී බලාගන්න,
පුළුවනි මට දිවිය පුරා..
බිව් කිරිවල ණය ගෙවන්න,
බැරිවෙයි මට සසර පුරා..
ඔබ දිගුකල් දිවි ගෙවන්න,
මගේ ආයු පුදමි මෙමා..
හැමදාමත් මං පතන්නෙ,
මගෙ අම්මා බුදුවේවා..

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/12/%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/
Twitter20
Share20
0 votes