• Home »
  • News & Events »
  • බුද්ධාභිවන්දනා 2017 – බොදු බැති ගී සරණිය

බුද්ධාභිවන්දනා 2017 – බොදු බැති ගී සරණිය

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සිසු සිසුවියන් විසින් වාර්ෂිකව සංවිධානය කරන විවිධාකාර වැඩසටහන් අතරින් සෑම වර්ෂයකම ප්‍රධාන ස්ථානයක් අත්පත් කරගන්නා බුද්ධාභිවන්දනා බොදු බැති ගී ප්‍රසංගය පසුගිය බදාදා (9) කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී අති සාර්ථක ලෙස නිමවූයේ ශ්‍රාවක ජනයාගේ සිත් සතන් මෙත් සිසිලෙන් පුරවාලමිනි.

සවස 4.00 සිට හෝරා දෙකක් පුරාවට පැවති බුද්ධාභිවන්දනා බොදු බැති ගී සරණිය වර්ණවත් කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වසර සතරක ශිෂ්‍ය සහෝදරත්වයත්, ආචාර්ය මණ්ඩලයත්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් එකම වේදිකාවකට ගොඩවැදී බොදු බැති ගී ගායනයට එක් රොක් වීම විශේෂයෙන් කැපී පෙනුනි.

චිරාගත සම්ප්‍රදායන්ට ඉඩකඩ සලසමින් ආගමික වතාවත් ඉටුකර ආරාධිත අමුත්තන් විසින් පොල්තෙල් පහන් සිළු දැල්වීමෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරය මධුර සංගීතයෙන්ද මියුරු ගායනයෙන්ද ඒකාලෝක විය. මෙම වැඩසටහන සාර්ථක ලෙස පැවැත්වීමට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ සිසු සිසුවියන්ගෙන් සමන්විත වූ වාද්‍ය වෘන්දයෙන් සැපයූ සුමියුරු සංගීත නාද රටාවන් ද හේතු විය. ලංකාවේ ප්‍රවීණ අසහාය ගායක ගායිකාවන් විසින් ගායනා කරන ලද බොදු බැති ගී රාශියක් බුද්ධාභිවන්දනා ⁣වේදිකාවේ එදින ගැයිණි.

බුද්ධාභිවන්දනා 2017 බුදුරදුන්ගේ මෛත්‍රිය කරුණාව දයාව ආදී ගුණදම් විදහා දක්වමින් සසර අදුරේ සරන ජීවිත වලට ආලෝකයක් එක් කරන තෝතැන්නක් විය. ආගම දහමට ඇති ඇල්ම වියැකි යන මෙවන් යුගයක විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන අවිවේකී, කාර්යබහුල ජීවිත වලින් මොහොතකට මිදී අධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට මහගු අවස්ථාවක් විය.

 

චරිනි පීරිස්
2015/2016 කණ්ඩායම

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/08/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%8f%e0%b6%b7%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b7%8f-2017-%e0%b6%b6%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b7%90%e0%b6%ad/
Twitter20
Share20
1 vote