නින්නාද 2017 – සොදුරු ස්වර සුයාමය

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතන ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම යටතේ එහි සොයුරු කැල විසින්  පවත්වාගෙන යන UCSC Exploration Club යනු  දුෂ්කර පාසල් වල දරු දැරියන් අතරට යමින් ඔවුන්ට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කරන  සංවිධානයකි. වෙනත් ලෙසකින් කිවහොත් මෙය හුදෙක් ආත්මාර්ථකාමී සමාජයෙන් මිදී මනුෂ්‍යත්වය සොයා යන්නට වෙරදරණ සරසවි සිසුන්ගේ අහිංසක වෑයමක නිමැවූමකි.

UCSC Exploration club හි ප්‍රධානතම සමාජ සත්කාරක වැඩසටහන ලෙස ලංකාවේ තෝරාගත් ඉතා දුෂ්කර පාසැල් සදහා අ.පො.ස සා.පෙළ. අරමුණු කරගනිමින් සම්මන්ත්‍රණ මාලාවක් සිදුකරනු ලබනවා. එමගින් 2016 සැප්තැමබර් මස 23, 24, සහ 25 යන දින ත්‍රිත්වයේදී හළඹ කණිශ්ඨ විද්‍යාලීය සහ ඔට්ටුකුළම කණිශ්ඨ විද්‍යාලීය සිසුන් සදහාත්, 2016 නොවැම්බර් මස 26 සහ 27 වන දෙදින පුත්තලම මදුරන්කුලිය කන්ඩෙතොඩුවාව ග්‍රාමයේ සිසුන් සදහාත්, මේ වසරේ අප්‍රේල් මස ගිරාදුරුකොට්ටේ රත්කිඳ නවෝද්‍යා පාසලේ දරු දැරියන් සදහාත් ප්‍රධාන වශයෙන් සම්මන්ත්‍රණ සිදු කරනු ලැබුවා. මොවුන්ගේ මීළඟ අරමුණ වන්නේ සම්මන්ත්‍රණ මාලාවකට සමගාමීව එවැනි දුෂ්කර පාසලකට පරිගණක විද්‍යාගාරයක් ලබා දීමය. ඒ සඳහා අරමුදල් සපයාගනු වස්, UCSC Exploration club විසින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කර ඇත. එම සොදුරු සංගීත සන්ධ්‍යාව  නින්නාද 2017නමින් මැයි මස 26 වන දින සවස 6.30 සිට මහරගම තරුණ සේවා සභා ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු  සංවිධානය කරමින් පවතී. ලාංකේය සංගීත රසාස්වාදය නවමු තලයකට ඔසවා තැබූ මෑත සංගීත අඹරේ පෑයූ අසහාය තාරකාව කසුන් කල්හාර, සංගීත ක්ෂේත්‍රයේ බැබලෙන තාරකාවිය උමාරියා සිංහවංශ සමගින් යොවුන් හදවත් කුල්මත් කල ලාංකේය  ගායන තාරකාව සනුක වික්‍රමසිංහ මේ මහා සංගීත ප්‍රසංගයට ගායනයෙන් දායකත්වය සපයන අතර නාලක සජී ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් ප්‍රසංගය සංගීතවත් වීමට නියමිතයි. අහිංසක නැණ පහනක් දල්වාලන්නට  උපකාර වන අතරම, සංගීතමය සන්ධ්‍යාවක රසයෙන් කුල්මත් වීමට “නින්නාද 2017” සදහා සහභාගී වන මෙන් UCSC අප, ඔබ සැමට  ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු.

අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් මිලදී ගැනීම සදහා http://www.ticketslk.com/events/view/ninnada_2017 වෙබ් අඩවියට පිවිසිය හැකිය. එමෙන්ම ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර සදහා නින්නාද 2017 නිල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/05/ninnada-2017/
Twitter20
Share20
2 votes