• Home »
  • දැනුම පොත »
  • ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නොනිමෙන පහන් තරුව

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නොනිමෙන පහන් තරුව

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ හා පරිගණක විද්‍යාවේ යම් දියුණුවක් පවතී ද, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය මෙරට යම් ස්ථානයක විරාජමානව වැජඹේ ද, එහි ලා පුරෝගාමි සේවයක් ඉටුකල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස විරුදාවලි ලත් විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන් කෙසේ නම් අමතක කළ හැකිද? වර්ෂ 2017 ජුනි මස 06 වැනිදාට යෙදෙන විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන්ගේ දසවන ගුණානුස්මරණය පාදක කොට ගනිමින් මෙම ලිපිය සම්පාදනය කෙරේ.

වර්ෂ 1939 මැයි මස 22 වනදා කොළඹදී මෙලොව එළිය දුටු සමරනායක මැතිඳුන් සිය මූලික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය ඇසුරේ ලැබුවේය. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු ද්විතියීක අධ්‍යාපනය හා 1961 දී සිය ප්‍රථම උපාධිය එවකට කොළඹ, පේරාදෙණිය, කැළණිය විශ්ව විද්‍යාල හා විද්‍යෝදය පිරිවෙණෙහි එකතුවකින් සුසැදි University of Ceylon මගින් ලැබූ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන් වැඩිදුර උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ රාජකීය විශ්ව විද්‍යාලයෙන් ලැබුවේය. සිය අධ්‍යාපනය අවසන් කළ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන් 2004 වසරේ සැප්තැම්බර් මස 30 වනදා සිය සේවා ධූරය අවසන් කරන තෙක් ම අඛණ්ඩව වසර 43ක් මෙරට විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතනයන් හි මෙන්ම තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් හා සංවිධාන අතර අධ්‍යාපනඥයෙකු, ලංකාවේ නූතන තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනයේ හා එය ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියෙකු හා තොරතුරු තාක්ෂණ පිළිබඳ අනාගත දැක්මක් ඇති පුද්ගලයෙකු වශයෙන් සිය මෙහෙවර ඉටු කළ අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ධූරයෙන් පිදුම් ලැබුවේය.

සිය සේවාව ගණිතඥයෙකු හා ශාස්ත්‍රඥයෙකු ලෙස ආරම්භ කළ වී.කේ. සමරනායක මැතිඳුන් වර්ෂ 1974 දී කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ධුරයට සහ මහාචාර්ය ධුරයට හිමිකම් කීවේය. සංඛ්‍යාන අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යාපනය, සේවක අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය හා විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ කෙරෙහි මෙතුමාගේ දැඩි අවධානය යොමු වූ අතර ඒ සඳහා සිය සේවය යෙදවූයේය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ස්වර්ණ ජයන්තිය යෙදී තිබූ 1994 වසරේදී එහි සභාපති ධූරය විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන් හට පිරිනමන ලදී. එපමණක් නොව ජාතික විද්‍යා ඇකඩමියේ 1990 සිට 2000 දක්වා වූ අඛණ්ඩ දස වසරකසභාපතිධූරයද මෙතුමා හෙබවීය. කොළඹ විශ්ව විද්‍යාලයිය පරිගණක අධ්‍යනායතනය (UCSC) හා ඊට පෙර තිබූ තොරතුරු තාක්ෂණ ඇකඩමියෙහි (ICTA) සමාරම්භකයාණන් වූ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන් 2004 මැයි මස සිය සේවා කාලය අවසන් කොට විශ්‍රාම ගන්නා තුරුම එම ආයතනයන්හි සමාරම්භක අධ්‍යක්ෂක ධූරය හෙබවූයේය. එමෙන්ම එවකට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ඉහළම ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භයේ සිට ම කටයුතු කළ මහාච‍ාර්ය සමරනායක මහතා එම ආයතනයේ සභාපතිවරයා ලෙස පුරා වසර 12ක් සේවය කළේය.

මහා බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ අනෙකුත් දායකයන්ගේ ආධාර යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේදි micro computer විද්‍යාගාරයක් ලෙස පරිගණන කේන්ද්‍රස්ථානය හා JICA විසින් දකුණු ආසියා සංවර්ධන සහයෝගිතාවේ පරමාදර්ශි සංකේතයක් ලෙස සැලකෙන ICTA ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේද විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන් හටය. 

වර්ෂ 1995 දී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපතිගේ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන සම්මානයෙන්, 1997 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය විසින් පරිගණක විද්‍යාවේ සංවර්ධනයට කළ සම්ප්‍රදානය සඳහා “විශ්ව ප්‍රසාදිනී” සම්මානයෙන් හා‍ 1998 වර්ෂයේ දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කරනු ලැබූ සම්ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් “විද්‍යා ජෝති” නමැති රාජ්‍ය සම්මානයෙන් ද මෙතුමා පිදුම් ලැබීය. UNICODE හා ISO10646 ප්‍රමිති සම්පාදනයෙහිලා සිය කාලය ශ්‍රමය මෙන්ම ඥානය කැප කළ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක මැතිඳුන් 68 වසරක සිය ජීවන ගමන් මගේ අවසානය සනිටුහන් කරමින් 2007 ජුනි මස 06 වනදා ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදි අවසන් සුසුම වාතලයට එක් කළේය.

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2017/05/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a/
Twitter20
Share20
1 vote