නුවණැසින් දැනුම් පොතට

මිනිස් පරිගනකය.

Shakuntala-Deviවිශ්වය සිසාරා විසිරී පවතින්නා වූ නන්විද ශක්ති බල දෝතෙහි හුවා ගත්තාක් මෙන්, මෙලෝ තලය මත ජනිත වන්නා වූ ඇතැමෙක් ආශ්චර්යජනක එශ්චර්යයක් සදහා උරුමකම් කියන බැව් මනුසත් සැවොම හට අද වන විට නොරහසකි.

සාහිත්‍යමය වේවා… සංගීතමය වේවා… ගණිතමය වේවා… එකී නොකී සියලු දක්ෂතා ලොව බුහුමනට මග කියන්නා වූ මෙකල්හි ලොව ජනිත වූ තවත් එක් සොඳුරු ලලනාවියක් පිළිබදව වූ තතු විමසුමකි මේ.

1929 නොවැම්බර් මස 04 වන දා ඉන්දියාවේ බැංගලෝර්හිදී දුගී පවුලක නව පුරුකක් සේ මෙලොව එළිය දුටු දැරිවිය “ශකුන්තලා දේවිය” ලෙස නම් ලැබුවාය. යන්තම් පස් වන වියට පා තබද්දී ඇස්බැන්දුමෙහි ප්‍රකට වි සිටි තම පියාණන් පවා කාඩ් ක්‍රීඩාවෙන් පරදවාලීමට අැය සමත් වූයේ එම කාඩ් සියල්ලෙහි අංක දත්ත සහිතව සිය සිරස තුළ අසුරා තබා ගැනීමට සමත් කම් පෑ නිසාය. බ්‍රාහ්මණ වංශයකින් පැවත එන්නා වූ සංචාරක ඇස්බැන්දුම්ශිල්පියෙකු වූ තම පියාණන්ගේ ආභාෂයෙන් කුඩා කල පටන් වේදිකාවට පෙම් බැඳි ඇය සිප් හලකින් අධ්‍යාපනයක් ලැබීමට තරම් වාසනාවන්තද නොවූවාය.

එහෙත්, යුධ බටයාට අසිපතක් මෙන්ද, ලේඛකයාට පන්හිඳක් මෙන්ද, ඉලක්කම් මනාව හැසිරවීම ඇයට ඉතා පහසු කර්තව්‍යයක් බවට පත් වී තිබුණි. තර්කානුකූල බුද්ධියත් විස්මිත වූ ගණිතමය හැකියාවත් පිරික්සනු ලබූ ඇයගේ පියාණන් ඇයව ඔප දමන ලද මාණික්‍යයක් බවට පරිවර්තනය කරන්නේ වේදිකාරූඪ සංදර්ශන හරහා ලෝ සත්වයන් හට ඇයව හඳුන්වාදීමෙනි. දසත රැව් පිළි රැව් දුන් අැයගේ දසකම් උදෙසා විශ්ව විද්‍යාල වරම් ලැබූ අැය තම සොඳුරැති තාරුණ්‍යට පා ඔසවන්නේ දස දහසක් නෙත් යුග තමා දෙස යොමා ගනිමිනි.

අතිශය ජනප්‍රිය චරිතයකට උරුමකම් කියූ ඇය එවක පටන් ශ්‍රී ලංකාව, ඇමරිකාව, එංගලන්තය, හොංකොන්, ජපානය, ඉතාලිය, ප්‍රංශය, මොරිෂස්, රුසියාව, කැනඩාව, ඉන්දුනීසියාව, මැලේසියාව ආදී රාජ්‍යයන් රැසක සංචාරක වරම් ලැබූ අතර මේ සියල්ලටම මං විවර වන්නේ පරිගනක ගණනය කිරීම් පරදා වේගවත් වූ ඇයගේ බුද්ධිමය ගණිත හැකියාව නිසාවෙනි.

තවද, ඉලක්කම් හරඹයන් උදෙසා පමණක් දිවි කැප නොකළ ඇය නක්ෂත්‍ර ශාස්ත්‍රයට අත් පොත් තබන්නේ තම මුතුන්මිත්තන්ගේ මාර්ගය අනුගමනය කරමිනි. යමෙකුගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය අනුව අනාගත පැවතුම් සියල්ල පැවසීමට ඇය ශුර කම් දැක්වීය. උපන් වසර සහ උපන් දිනය ඇසූ පමණින් ඒ කුමන මාසයේ කුමන සතියකදැයි ඇය අංක ගණිතය වදන් බවට හැරවූවාය.

1977 වසරෙහි මතක සටහන් විපරම් කරන කල්හි, එකල “සදර්න් මෙතෝඩිස්ට් විශ්වවිද්‍යාලය” මගින් විමසන ලද අපූර්ව පැනයකි. ඒ අංක 201 කින් සැදුම්ලත් ඉලක්කමක 23 වැනි වර්ගමූලය සෙවීමයි.මහාචාර්යවරයා විසින් මිනිත්තු හතරක් වැය කරමින් කලු පසුබිමෙහි සුදෙන් සිත්තම් කළ ගැටලුව ඇය විසදන්නේ තත්පර 50 ක් තුළය.

වසර 1980ක් වූ ජූනි මස 18 ව්න දින ඇයගේ දිවිය නම් වූ පුස්තකයෙහි නව පිටුවක් පෙරළෙන්නේ නව ගිනස් වාර්තවක් සමඟිනි. එය ලන්ඩන් නුවර “ඉම්පීරියල් කොලේජ්” හි පැවති එක්තරා වැඩසටහනකි. එහිදී ඇය ලද අභියෝගය වූයේ අංක 13 කින් සමන්විත වූ ඉලක්කම් 2 ක් වැඩි කර පෙන්වීමයි. ඒ වන විට ලොව පැවති වේගවත්ම පරිගනකය පවා පරයා යමින් තත්පර 28ක් තුළ නිවැරදි පිළිතුර මනසින් ගණනය කළ ඇය සැබවින්ම වියත් ප්‍රඥාසම්පන්න සුවිෂේශී දස්කමක් දැක් වූ තැනත්තියක වූවාය.

ඉනික්බිතිව මිලියන ගණනක් වූ සිසු දරු පරපුර උදෙසා ඇයගේ මනසින් දැනුම පත් ඉරු කරා ගලා එන්නේ ගණිතමය ග්‍රන්ථ මෙන්ම නවකතා රැසක් දොරට වඩවමිනි. “The Book of Numbers”, In the Wonderland of Numbers”, “Awaken the Math Genius in Your Child”, “More Puzzles” , “Puzzle to Puzzle you” යනාදිය ඇය විසින් රචිත ග්‍රන්ථ අතර වේ.

තමා සතු වූ බුද්ධිමය සම්පත්තිය ලොවට විවර කර දුන් ඇය 2013 අප්‍රේල් මස 21 වන දා තම 83 වන වියෙහි සුව විඳිමින් සිටියදී මෙලොවින් සමුගත්තාය. එහෙත් ඇය අමරණීයය. පරිගනකය පරදා ජය ලැබූ සුපිරිතම වූ වේගවත් බුද්ධියක හිමිකාරිය ඇයය.

 

9788122203165-700x700-imadw3m69y2ggqzcpuz2puzthumb.phpindex9788122200065__25571_zoom_1_

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
http://ucsc.cmb.ac.lk/students/blog/2015/08/%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%ab%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b6%a7/
Twitter20
Share20
0 votes